සාරධර්ම යනු මොනවද?
කවර හෝ සමාජයක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන්
පරම්පරාවට පවත එන්නා වූ සමාජයේ යහපැවැත්මට හේතුවන්නේ යැයි එකී සමාජය විසින්ම තීරණය
කරනු ලැබුවා වූ ආචාරධර්ම පද්ධතියක් සාරධර්ම පද්ධතියක් ලෙස හඳුන්වා දිය හැකිය.
සාරධර්ම යනු නීති මාලාවක් නොවේ. එය සම්මතයන් සමුහයකි. එය නොසලකා හරින්නෙකුට හෝ කඩ කරන්නෙකුට නීති මඟින් දඩුවම් කළ නොහැකි වුවත් ඔහු ජිවත්
වන සමාජය තුළ පිළිකුලටත් නොපිළිගැනිමටත් ලක්වීම තුළින් අනියම් දඬුවම් ලැබීම වැළක්විය
නොහැකිය. සාරධර්ම පිළිපදින්නා සමාජයේ ගෞරවයට පාත්‍රවන්නා සේම ප්‍රතික්ෂේප කරන්නා පිළිකුලට
ලක්වේ.
එක් එක් සමාජයේ පිළිගැනීමට අනුව සාරධර්මයන්ගේ
වටිනාකම් වෙනස් විය හැකිය. ශ්‍රී ලංකාව වැනි රටක දෙමාපියන්ට වැඩිහිටියන්ට සැළකීම වැනි
ගරු කටයුතු සාරධර්මයක් ලෙස සැලකුව ද ඇතැම් බටහිර රටක එය එසේ නොවිය හැකිය. එසේ වුවද ලෝකයේ
සෑම සමාජයක්ම පිළිගන්නා ඇතැම් සාරධර්ම තිබේ.
දේශීය සංස්කෘතිය බුදුදහම හා කෘෂිකාර්මික අර්ථ
ක්‍රමය පදනම් කොටගෙන බිහිවූවකි.
ඒ තුළින් අපට උරුම වී ඇති බොහෝ සාරධර්ම ලෝකයේ කිසිඳු රටකට දෙවෙනි වුවක් නොවේ.
ඒ තුළින් අපට උරුම වී ඇති බොහෝ සාරධර්ම ලෝකයේ කිසිඳු රටකට දෙවෙනි වුවක් නොවේ.
නර්තන කලාව හා බැඳි සාරධර්ම
නර්තන කලාව යනු අපගේ සංස්කෘතියේම ප්‍රබල අංගයකි.
නර්තන කලාව සමාජ සරධර්මයන්ගේ තෝතැන්නකි. මන්දයත් නර්තන කලාවේ ආරම්භයේ සිටම විවිධ ස්වරුපයෙන්
එකී සාරධර්ම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වන හෙයිනි. නර්තනය ඉගෙනීමට පිවිසෙත්ම ආධුනිකයා
ප්‍රථමයෙන් කරන්නේ ගුරුවරුන්ට නමස්කාර කිරීමයි. එසේම නර්තනයට මුල පුරන්නේ දණ්ඩිකඳට
නමස්කාර කිරීමෙනි. අනතුරුව ත්‍රිවිධ රත්නයටත් ගුරුදෙමාපියන්ටත් තම ඉගෙනගන්න ශිල්පියාටත්
නමස්කාර කරයි.
ආධුනික ශිල්පියා නර්තනය ආරම්භ කරන්නේ දණ්ඩි
කඳේ සරඹ අභ්‍යාසයෙනි. දණ්ඩිකඳ යනු ලී දණ්ඩකින් කළ අචේතනික වස්තුවක් වුවද නර්තනයේදී
එය තමාගේ ආධාරකරුව වෙයි. එබැවින් එයට ගරුකළ යුතුය. එම සාරධර්මය අගය කරන ආධුනික නර්තන
ශිල්පියා “දණ්ඩිකඳ” ස්පර්ශ කරන්නේ එයට කෘතගුණ සලකනුයේ නමස්කාර කිරීමෙනි.
බෙර වාදනය ඉගෙනීමේදී තමා විසින් පරිහරණය කරන කරනු
ලබන වාදන භාණ්ඩයට ආරම්භයේදීත් අවසානයේදීත් වැඳ නමස්කාර කිරීම අනිවාර්යෙන්ම ඉටු කරනු
ලබන චාරිත්‍රයකි.
ශාන්තිකර්ම හා සාරධර්ම
ශාන්තිකර්මයක ආරම්භක අවස්ථාව වන්නේ එයට අවශ්‍ය
භෞතික සම්පත් සපයා ගැනීමයි. මෙහිදී කළ යුතු කාර්යයන් බොහොමයක් ඇතත් ගැමි සමාජය තුළ
මේ කිසිවක් ගැටලුවක් බවට පත් නොවූයේ සාමුහිකව එය ඉටු කරන ලද බැවිනි. කවර හෝ කාර්යයක්
වුවද නායකත්වයක් අවශ්‍ය වේ. මෙහිදී එම කාර්යයන් පිළිබඳ දැනුම් තේරුම් ඇත්තවුන් ස්වයං
පෙළඹවීමෙන් නායකත්වය පැවරීමක් සිදු කරයි. එතැන් සිට අනෙක් කටයුතු කරන්නේ ඔහුගේ නායකත්වය
යටතේ ඔහුගේ උපදෙස් මත අදහස් විමසා බලමිනි. මෙවැනි අවස්ථාවකදී,
- සුදුස්සා වෙත නායකත්වය පැවරීම හා එය පිළිගැනීම
- නායකත්වයට ගරු කිරීම, විමසීම,උපදෙස් පිළිපැදීම.
- සාමූහිකත්වය, සහයෝගයෙන් යුතුව වැඩකිරීම, බලකිරිමකින් තොරව ස්වයං
- පෙළඹවීමකින් හා කැපවීමෙන් වැඩ කිරීම.
- අන්‍යයන්ට උදව් කිරීම
වැනි සමාජ සාරධර්මයන් රැසක්
ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ.
ශාන්තිකර්මයට සහභාගී වන සියලුම ශිල්පීහු ආගමික වතාවත් පිළිපදිති. රඟමඩලට
ප්‍රවිෂ්ට වීමට පෙර තම ගුරුවරුන්ට, වැඩිහිටි ශිල්පීන්ට වැඳ නමස්කාර කරති. අවසර ලබා
ගනිති. එපමණක් නොව රඟමඩලට පිවිසෙන්නේ සඟමහලු පිළිවෙලටය. එනම් වැඩිහිටියන් පෙරටු කරගෙනය.
ගෝලයින් සබයට පිවිසෙන්නේ ගුරුවරුන්ගේ පිටුපසින් පෙළ සැදෙමිනි. මෙහිදී වැඩිහිටියන්ට
සැළකීම, ශිල්පදත් ප්‍රවීණයින්ට ගරු කිරීම, සමානයන් එකිනෙකා කෙරෙහි ගෞරව කිරීම, ගුරුවරුන්ට
වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීම වැනි සරධර්ම් මෙහිදී දැකගත හැක.
ශාන්තිකර්මයක් නැරඹීමට එන බොහෝ දෙනාට අසුන් පැනවීම
කරනුයේ එකී භුමියේ පඳුරක් හෝ මාගල් එල්ලීමෙනි. එහිදී උස් පහත් භේදයක්වත් පොහොසත්කමක්
සැලකිල්ලට නොගනී. එකම හෙප්පුවෙන් විට කති. නර්තනය බල විනෝදය ලබති. පොදුවේ සෙත් ශාන්තිය
ලබා ගනිති. ශාන්තිකර්මයක් යනු ගමේ සාමාන්‍ය සහ ප්‍රභූන් එකට එක් කරන අවස්ථාවකි. නූතන වේදිකා රංගන වලදී පවා ඇතැම් සාරධර්ම නොනැසී
පැවතීම අගය කළ යුතුය.
- වේදිකාවට නැගීමට පෙර අතින් වේදිකාව ස්පර්ශ කර ඇත සිප ගැනීම.
- වේදිකාව දෑතින් අල්ලා දෑත් එක්කර නමස්කාර කිරීම.
- වේදිකාවට නැගීමේදී පාවහන් ගැලවීම.
- ආරම්භයේදී හා අවසානයේදී ගුරුවරයාට වැඳ නමස්කාර කරති.
නූතන සමාජ ප්‍රවාහය තුළ විවිධ සංස්කෘතීන්ගේ ගලා
ඒමත් ඒවා අපේ සංස්කෘතිය තුළට රිංගා ගැනීමත් වැලැක්විය නොහැක. එසේ වුවද අපගේ සංස්කෘතියට
අදාළ සාරධර්මයන් නොනසා ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි. වගකීමකි.
සාරධර්මවල සමාජීය වටිනාකම
කොහොඹා කංකාරිය, දෙවොල් මඩුව, පහන් මඩුව හා කිරි මඩුව වැනි ශාන්තිකර්ම කවර සම්ප්‍රදායක් නියෝජනය කරන්නේ වී නමුදු පොදු අරමුණු හා අභිමතාර්ථයන් කිහිපයක් වටා ඒකරාශී වී ඇති බව පෙනේ. මෙකී මඩු ශාන්තිකර්ම ප්‍රයෝගිකව පවත්වාගෙන ආ සමාජ ස්ථරයන් දෙස බලන විට අපට පෙනී යන එක් ප්‍රධාන ලක්ෂණයක් නම් එය කෘෂිකාර්මික අර්ථ ක්‍රමයෙන් පෝෂණය ලැබූ ගැමි සමාජය තුළ සමගිය, සහයෝගය, අන්තර් සම්බන්ධතාවය, ආගන්තුක සත්කාරය, වැඩිහිටියන්ට ගරු කිරීම, ආගන්තුක භක්තිය වැනි විවිධ ගුණාංග රැසක් එහි තිබේ.
කොහොඹා කංකාරිය, දෙවොල්
මඩුව, පහන් මඩුව වැනි
ශාන්තිකර්මයන් පැරණි සමාජ සංස්ථා තුළ වාර්ෂික මංගල්‍යයක් වශයෙන් පැවති බව පෙනේ. වර්තමානයේ වුවද එම
තත්ත්වය සම්පුර්ණයෙන් අහෝසි වී ගොස් නැත. අස්වැන්න කපා පෑගීමෙන් පසු උදාවන අතමිට
සරු කාලයක් ඒ හා සමඟ ලැබෙන විවේකයත් මෙවැනි ශාන්තිකර්ම පැවැත්වීමට පෙළඹු සාධක විය.
මෙවැනි ශාන්තිකර්ම බොහෝවිට පොදු කාර්යයක් බවට පත්වූයේ පෞද්ගලික නිවසක පවත්වන
අවස්ථාවක වුවද ගමේ සියලු දෙනා එක්ව එයට සහයෝගය ලබා දුන් බැවිනි.
- ගමේ සියලු දෙනා එක්වී දෙවියන් වෙනුවෙන් වී සහල් රැස් කරති. බත් බුලත් සපයති.
- සියළු දෙනාම ඒකරාශී වී අවශ්‍ය මෙවලම් හා සම්පත් සපයා ගනියි. එකට එක්වී මඩු, කූඩාරම් තනති.
- සැරසිලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දෙති.
එමඟින් සමුහිකත්වයත් සහයෝගයත්
මැනවින් ප්‍රදර්ශනය විය. ශාන්තිකර්මයට අදාළ සියලුම
කටයුතු ආරම්භ කරන ලද්දේත් පවත්වාගෙන එනු ලැබුවේත් සුබ නැකත් අනුවය. මේ පිළිබඳ
සමාජයේ සියලුම සාමාජිකයන් තුළ මහත් පිළිගැනීමක් පවතියෙන් ඒ අනුව කරන ලද කටයුතු වලදී සාර්ථකත්වයක් ඇති විය.
කිරි මඩුව වැනි ශාන්තිකර්මයන්
තුළින් අපට පැහැදිලි වන්නේ කෘෂිකාර්මික සමාජය තුළ ගව සම්පත් කෙරෙහි ගැමියා කවර
තරමේ සැලකිල්ලක් ආදරයක් දක්වන ලද්දේ ද යන්නයි. ගව සංරක්ෂණය උදෙසා ශාන්තිකර්මයක්
පවත්වන්නට තරම් ඔවුන් කෘතවේදීන් වූහ.
දේශීය බලි ශාන්තිකර්මය ද
අපේ රටේ සමාජීය වටිනාකම් නියෝජනය කරන ශාන්තිකර්මයකි. බලි ඇදුරා යනු පස් පවින් වැලකුණු මනා හික්මීමකින්
යුතු පුද්ගලයෙකි. ඔහුගේ ආදර්ශය සමාජයේ අනෙක් සාමාජිකයන් කෙරෙහි ද ප්‍රක්ෂේපණය වීම
බොහෝවිට සිදුවූවකි. සෑම ශාන්තිකර්මයකම යොදාගත් ආගමික භක්තිය සමාජ සංස්ථාවේ පැවැත්ම
කෙරෙහි එකඑල්ලේ බලපායි.
සියලු ශාන්තිකර්මයකම අන්තර්ගත වූ මුර්ති, කැටයම්, චිත්‍ර හා වෙනත් සැරසිලි, නැටුම් ගැයුම් වැයුම් වැනි
අනෙකුත් අංග පොදුවේ සමාජයේ සියලු සාමාජිකයන්ගේ රසඥතාව දියුණු කරන පොදු මාධ්‍යයක්
බවට පත්විය. එමඟින් එදා සමාජයේ ජිවත් වූ සෑම පුරවැසියෙක්ම හොඳ රසිකයෙක් විය.
එබැවින් ශාන්තිකර්ම තුළ ඇති
සමාජීය වටිනාකම කෙතරම් ද යන්න අවිවාදයෙන් පිළිගත යුත්තකි.
No comments:
Post a Comment