දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ අද්විතීය නිර්මාණයක් ලෙස චිත්‍රසේනයන්ගේ “නළ දමයන්ති”
මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකිය. නළ දමයන්ති මුද්‍රා නාටකයට පසුබිම් වී ඇති කතා
පුවත ඉන්දියානු මහා කාව්‍යයක් ලෙස සැලකෙන මහා භාරතයේ එන අතුරු කතාවකි. කුරු පාණ්ඩව
යුද්ධය පසුබිම් කොට ගෙන ලියවී ඇති මහා භාරතයේ එන එක් අවස්ථාවක පාණ්ඩවයන්ගේ ප්‍රධානියා
වන යුධීෂ්ධීර රජු දුර්යෝජන නමැති තම ඥාති සොහොයුරාගේ උපායකට හසු ශකුනි නමැති කෙළියෙහි දක්ෂයෙකු සමඟ දාදු ක්‍රීඩාවෙහි යෙදෙයි.
තම ධනය ද තම රාජ්‍යය ද අවසානයේදී තමන්ගේ භාර්යාව ද ඔට්ටු තබමින් දූ කෙළියෙහි යෙදෙන
යුධීෂ්ධීර රජු ඒ සියල්ල ද අහිමි කර ගනියි. දූ කෙළියෙන් පරාජයට පත් යුධීෂ්ධීර රජු
චිත්ත කනස්සල්ලට පත් ව සිටින විට බ්‍රහදශ්ව නම් ඍෂිවරයා යුධීෂ්ධීර වෙතට පැමිණේ.
එහි දී තමාට වඩා අවාසනාවන්ත තවත් රජකෙනෙක් සිටිද්දැ යි යුධීෂ්ධීර බ්‍රහදශ්ව
ඍෂිවරයාගෙන් විමසා සිටියි. යුධීෂ්ධීරගේ චිත්ත සන්තාපය දුරු කිරීම සඳහා බ්‍රහදශ්ව
ඍෂිවරයා නළ දමයන්ති කතා පුවත යුධීෂ්ධීරට කියයි.
ඉන්දියානු මහා කාව්‍යයක් වන මහා භාරතයෙහි නළ දමයන්ති කතා පුවත දැක්වෙන්නේ
ඉහත සඳහන් කළ ආකාරයෙන් අතුරු කතාවක් වශයෙනි. අතිශයින් ම රසවත් කතා පුවතක් වන නළ
දමයන්ති කතා පුවත භාරතීය නෘත්‍ය නායකයන්ට ද සංස්කෘතික නාට්‍යයන්ට ද තේමා වූ
අතිශයින් ම ජනප්‍රිය වෘතාන්තයකි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන නළ දමයන්ති මුද්‍රා නාට්‍යය මහා භාරතයේ එන මුල්
කතා පුවත තේමා කොට ගනු ලැබූවේ වුව ද මහා භාරතයේ කතා පුවතට වඩා සුළු වෙනස්කම් එහි
දක්නට ඇත. මුද්‍රා නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමේ දී මුල් කතා පුවතේ ඇතැම් අවස්ථා
මුද්‍රා නාට්‍යානුකූල ස්වරූපයෙන් දැක්වීමේ අවශ්‍යතාවය මත වෙනස් කර ගනු ලැබූව ද
මුල් කතාවෙහි තේමාවට එමගින් කිසිඳු හානියක් සිදු කර නැත.
කතා පුවත
නළ රජු පොකුණක්
අසල ඇවිදින හංස රෑනක් දකියි.හංසයන්ගේ සුන්දරත්වයෙන් පිනා ගිය රජු හංස රැජිණ අල්ලා ගනියි.
මිනිස් හඬින් රජු ඇමතූ හංස රැජිණ තමා මුදා හැරියහොත් සුරූපී කුමරියක් ලබා දෙන බවට පොරොන්දු
වේ.නළ රජු හංසයා මුදා හරියි. හංසයා විදුර්හ දේශයේ භීම රජුගේ දු කුමරිය වූ දමයන්තියගේ
ගුණ වයයි.එය අසා නළ කුමරු දමයන්තිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙයි. අනතුරුව හංසයා දමයන්තිය
වෙත ගොස් නළ රජුගේ ගුණ පවසයි. දමයන්තිය ද නළ රජු කෙරෙහි ප්‍රේමයෙන් බැඳෙයි. භීම රජු
දමයන්තිය විවාහ විය යුතු කාලය පැමිණ ඇති නිසා අවට රටවල කුමාරවරු ද රජවරුන් ද කැඳවා
ස්‌වයංවර උත්සවයක් සංවිධානය කරයි. එකී ස්‌වයංවරයට නළ කුමරු ද පැමිණෙයි. දමයන්තියට නළ
කුමරු හඳුනාගත නොහැකි වන ආකාරයෙන් ඇය පතා පැමිණි
දෙවිවරු ද නළගේ වෙස් ගනිති.දැඩි සිත් තැවුලට පත් දමයන්තිය තමන්ගේ අචල ප්‍රේමය ගැන අධිෂ්ඨාන
සහගතව සිටියි. දෙවිවරු ඇය කෙරෙහි පැහැදී නැවත තමන්ගේම වෙස් ගනිති. ප්‍රීතියට පත් දමයන්තිය
මල් මාලාවක් දමා නළ කුමරු තමාගේ ස්වාමියා ලෙස තෝරා ගනියි.
ස්‌වයංවරයට
පැමිණ සිටි පාපයට අධිපති කාලි, නරයකු තොර ගැනීම ගැන දමයන්තිය කෙරෙහි කිපී නළගෙන් ඇයත්
රාජ්‍යයත් වෙන් කරන බවට තර්ජනය කරයි. කාලිය රජුගෙන් පලිගැනීමට තමන්ට අවස්ථාවක් ලැබෙන
තුරු බලා සිටියි.
දිනක් නළ
රජු නිසිලෙස පවිත්‍ර නොවී ආගමික කටයුත්තක යෙදේ. පා දෝවනය නොකොට දෙවොලට පිවිසි නළ රජු
නිසා දෙවොල අපවිත්‍ර වූ හෙයින් දෙවියන්ගේ බැල්ම මොහොතකට නළ රජු වෙතින් ඉවත් වේ.
අවස්ථාව එනතෙක් බලා සිටි කාලි නළ රජුට ආවේශ වෙයි.
කාලි, නළ
රජුගේ සොහොයුරු පුෂ්කර කැඳවා නළ රජු විසින් රාජ්‍ය දින දෙන බවට පොරොන්දු වී නළ රජු
හා දු කෙළියට ඔහු පොළඹවයි. කාලිගේ ආවේශය නිසා නළ
දු කෙළියට එක් වී සිය වස්තුව හා රාජ්‍යයද
ඔට්ටු තබා පරදියි. අවසානයේදී දමයන්ති ද ඔට්ටු තබන ලෙස පුෂ්කර කියයි. ශෝකයට පත් නළ දමයන්තිය
ද කැටුව වනගත වේ.
නළ හා දමයන්තිය
කුසගින්නේ වනයේ සැරිසරති. විඩාවට පත් දමයන්තිය නින්දට වැටේ. මේ අතර කාලි, නළ කුමරු
ඇගෙන් වෙන් කර වන මැදට ගෙන යයි. දමයන්තිය අවදි වී තම හුදකලා වූ බව දැන වැලපෙමින් නළ
සොයා යයි. නළ කුමරු හා දමයන්තිය එක් කළ හංස රැජින ඇයට හමුවෙයි. තම පෙම්වතා සොයා දෙන
ලෙස දමයන්තිය හංස රැජිණගෙන් ඉල්ලා සිටියි. වනයේ අසරණව ඇවිදින නළ දෙවියන්ගේ අනුකම්පාව
හා පිහිට ලැබ උග්‍ර සටනකින් පසු කාලියගේ අවේශයෙන් මිදේ.හංසයින් විසින් මග පෙන්වන ලදුව
දමයන්තිය නළ සොයා පැමිණේ. දිගු කලකින් පසු එක් වූ දමයන්තිය ප්‍රමෝදයෙන් නටති. හංස රෑන
ද ඔවුන් සමඟ එක්ව සතුටු වෙති.
මුද්‍රා නාට්‍ය
ක්ෂේත්‍රයෙහි පතාක යෝධයකු බඳු වූ ආචාර්ය චිත්‍රසේනයන් විසින් නළ දමයන්ති කතා පුවත මුද්‍රා
නාට්‍යයක් සඳහා යෝග්‍ය වන ආකාරයෙන් සංස්කරණය කර ගනිමින් අපූර්වතම කලා නිර්මාණයක් බවට
පත්කරන ලදී. තත් යුගයෙහි නිර්මාණය වූ මුද්‍රා නාට්‍ය අතර නළ දමයන්ති මුද්‍රා නාට්‍යයට
හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. එය සමකාලීන මුද්‍රා නාට්‍ය අතර අතිශයින්ම සාර්ථක සම්භාව්‍ය
කලාකෘතියක් ලෙස කැපී පෙනුණි. මෙය වර්ෂ 1950 වර්ෂයේ ප්‍රථම නිෂ්පාදනය සිදුවිය. 1950
ප්‍රථම නිෂ්පාදනයේදී වජිරා මහත්මිය, චිත්‍රසේන
මහතා, උපුලි මහත්මිය, සේන වලවේ වැනි ශිල්පීන්ගේ දායකත්වය ලැබුණි. 1963 වර්ෂයේදී කරන ලද දෙවෙනි නිෂ්පාදනයේදී මල්ලිකා මහත්මිය, විමල්
නයනානන්ද මහතා, වජිරා මහත්මිය, උපේකා මහත්මිය, චිත්‍රසේන මහතා, මාලින්ද මහතා යන ශිල්පින්
හා ශිල්පිනියන් එහි ප්‍රධාන චරිත සඳහා දායක විය. සහය චරිත සඳහා නිමල් නවරත්න මහතා හා
සරණ අඹේගොඩ මහතා වැනි ශිල්පීන් සහභාගී වූ බව පෙනේ.
නළ දමයන්ති
හි සංගීතය නිර්මාණය කරන ලද්දේ ආචාර්ය අමරදේවයන් විසින් හා ලයනල් අල්ගමයන් විසිනි. එහි අන්තර්ගත ඈත
කඳුකර හිමව් අරණේ ගීතය ගයන්නේ අමරදේව මහතා හා නන්ද මාලනී මහත්මියයි. නර්තන නිර්මාණය
කරන ලද්දේ වජිරා මහත්මිය හා චිත්‍රසේනයන් විසිනි. ගී පබැඳුම මහගමසේකරයන් විසිනි.
ඇඳුම් නිර්මාණය හා පසුතල නිර්මාණය සෝමබන්දු විද්‍යාපති මහතා විසින් කළ අතර විදුලි ආලෝක
ශිල්පියා ලෙස මහින්ද ඩයස් මහතා කටයුතු කර ඇත.
මුද්‍රා නාට්‍ය
හා තේමාව අතර ගැලපීම
මුද්‍රා නාට්‍යයක
සාර්ථකත්වය කෙරෙහි බලපාන එක් ප්‍රබල සාධකයක් වන්නේ කතා තේමාව මුද්‍රා නාට්‍යයට උචිත
ආකාරයෙන් ගලපා ගැනීමයි. නර්තනය මාධ්‍ය කොටගෙන කතාව විකාශනයට ඉඩක් තිබිය යුතුය. නළ
දමයන්ති කතා පුවත මහා භාරතයෙහි එන කතා පුවතෙන් අත්‍යවශ්‍ය මූලික අවස්ථා පමණක් ගෙන මුද්‍රා
නාට්‍යයෙහි අවශ්‍යතා මත ගලපාගෙන ඇති ආකාරය සාර්ථක උත්සාහයකි. ජවනිකා ගලපා ගැනීමත් කතා
පුවත විකාශනයත් අතර අඛණ්ඩ සබඳතාවයකින් යුතුව කතාව ගලාගෙන යමක් දක්නට ඇත. එමඟින් කතා
තේමාව තුළ නර්තන අවස්ථා නිර්මාණයට අවස්ථා මතු කොට ඇත. හංසයා නළ රජුගේ රූප සෞන්දර්ය
දමයන්තිය ඉදිරියේ විස්තර කරන අවස්ථාව එයට කදිම නිදසුනකි. කතාව අවසානයේ යෙදෙන නළ හා
දමයන්තිය ප්‍රීතියෙන් නර්තනයේ යෙදීමත් හංස රෑන ඔවුන් හා එක්ව නර්තනයේ යෙදීමත් මහා භාරතයේ
කතා පුවතේ දක්නට නොලැබේ. මුද්‍රා නාට්‍යයට උචිත ලෙස කතා පුවත ගොඩනැඟීම මඟින් අතිශය
සුන්දර නර්තන අවස්ථාවක් නිර්මාණය කිරීමට එමඟින් අවස්ථාව
ලැබී ඇත.
රංග වස්ත්‍රාභරණවල
ඖචිත්‍ය බව
එක් එක් චරිතයෙහි
ස්වභාවයට අනුරුප වන නැතහොත් එක් එක් චරිතයට අවේණික රංග වස්ත්‍රාභරණ යොදාගැනීම මෙහි
සුවිශේෂීතාවයකි. නර්තනයට පහසු වන සේ කෙටි ඉන හැඩයකින් ද බඳ පටියෙන් ද දෙඅත් පටියෙන්
ද කරමාලය සහ හිස ඔටුන්නෙන් සැරසුණ නළ චරිතය උඩුකය නිරාවරණව සිටියි. කාලිගේ චරිතයට අදාළ
රංග වස්ත්‍රාභරණ නිර්මාණය ද ඊට සමාන අයුරින් කර ඇති අතර ඒ සඳහා යොදා ඇති වර්ණ මඟින් චරිත ලක්ෂණය මතු කිරීමට
රංග වස්ත්‍රාභරණ ශිල්පියා සමත් වී ඇත.
කාන්තා රංග
වස්ත්‍රාභරණ නිර්මාණයේදී රංගනයෙහි යෙදීමෙහි පහසුව පමණක් සැලකිල්ලට ගෙන නැත. එකී රංග
වස්ත්‍ර නිර්මාණය කර සෝමබන්දු විද්‍යාපති මහතා
සංස්කෘතික සාරධර්මයන් ගැන ද සැලකිලිමත් වී ඇති බව කිව යුතුය. දමයන්ති කුමරියගේ චරිතයට
රංග වස්ත්‍ර නිර්මාණයේ දී රෙද්ද සහ හැට්ටය යන මූලික සිද්ධාන්තය මත පිහිටා එකී ආකෘතිය
නිර්මාණශීලී ලෙස හසුරුවමින් දේශීය අනන්‍යතාවය පදනම් කරගනිමින් එම රංගවස්ත්‍ර නිර්මාණය
කර ඇත. මෙහි එන හංසයින්ගේ රංග වස්ත්‍ර නිර්මාණයේදී රුසියානු හංස විල බැලේ නාටකයෙන්
අභාෂය ලබා ඇතැයි කිව හැකිය. ඇඟට ඇලී ගිය පිජාමාව සහ උඩුකය සට්ටය පිම්බුණු රැලි සහිත
කෙටි සාය ශිර්ෂ පළඳනාව ඒ සඳහා යොදාගෙන ඇත. රංග වස්ත්‍ර නිර්මාණයේදී බටහිර බැලේ නර්තයන්ගේ
අභාෂය ලබා ගත්තේ වුව ද තම රංග වස්ත්‍ර නිර්මාණයේදී අපටම අවේණික වූ අනන්‍යතාවක් ගොඩනඟා
ගැනීමට සෝමබන්දු මහතා කටයුතු කර ඇත.
මුද්‍රා නාට්‍ය
පසුතල නිර්මාණය සහ වේදිකා සැරසිලි නිර්මාණය ද සෝමබන්දු මහතා විසින් සිදු කරන ලදී.අතිශයින්ම
සරල දර්ශන මඟින් අවස්ථාවට අදාළ සුන්දරත්වය දැක්වීමට එතුමා තුළ තිබූ දක්ෂතාවය පෙන්නුම්
කරයි. 1950 කාලයේදී දේශීය මුද්‍රා නාට්‍ය සඳහා
විශාල පසුතල යෙදීමෙන් වේදිකා පසුතල හා රංග භාණ්ඩ භාවිතයත් මඟින් සජීවී තත්වයකට ගෙන
ඒමට ඇතැම් ශිල්පින් උත්සහ ගත්ත ද නළ දමයන්ති නාට්‍ය තුළින් සෝමබන්දු මහතා එකී ස්වරූපයෙහි
වෙනස්කම් ඇතිකරමින් ජවනිකාවට අදාළ ප්‍රකාශ තීව්‍ර කිරීමට සමත්වන සංකේතාත්මක සරල පසුතල
සැරසිලි ක්‍රමයකට යොමුවිය.
විදේශීය අභාෂය
නළ දමයන්ති
නිෂ්පාදනය කළ කාලවකවානුව තුළ දේශීය මුද්‍රා නාට්‍ය කෙරෙහි භාරතීය නර්තනයන්ගේ අභාෂය
නොඅඩුව දක්නටා ලැබුණි. චිත්‍රසේන මහතා ඉන්දියානු නර්තන කලාව මනාව ප්‍රගුණ කොට සිටි
හෙයින් එකී නර්තනය මඟින් ලත් දැනුම තම රංග රචනයේදී යොදා ගන්න ලදී. කථක්, කථකලි, භරත,
මනිපුරි ආදී භාරතීය නර්තනයන්ගේ ලක්ෂණ නළ දමයන්ති පුරාවටම දක්නට ලැබේ. එහි ප්‍රධාන චරිත
නිරුපණය කළ ශිල්පින් ද කථකලි වැනි ඉන්දියානු නර්තන ප්‍රගුණ කොට තිබීම එකී අභාෂයට තවත්
හේතුවක් වන්නට ඇත. නළ දමයන්තිහි ප්‍රධාන චරිතය වන නළ කුමරු, කාලි, නළ කුමරුගේ පිරිස
සඳහා රංග රචනයේදී කථකලි නර්තනය යොදාගත් අවස්ථා බහුලය.
චිත්‍රසේන
මහතා විසින් කාන්තා නර්තන අවස්ථා නිරුපණයේදී දේශීය නර්තන කලාවේ අභාෂය මෙන්ම භාරතීය
භාරතීය නර්තන කලාවේ අභාෂය ද ලබාගෙන ඇති බව පෙනේ. දමයන්තිය තම පරිවාර ස්ත්‍රීන් සමඟ
කරන නර්තනයේදී වැඩි වශයෙන්ම මනිපුරි නර්තන කලාවේ අභාෂය ලබාගෙන ඇත. වජිරා මහත්මිය එම
නර්තන නිර්මාණයේදී දේශීයත්වය මත පිහිටා චලන නිර්මාණාත්මක ලෙස හසුරුවන ලද බව මුද්‍රා
නාට්‍යයේ එන දමයන්තියගේ යෙහෙළියන්ගේ නර්තන ඉරියව් නිරීක්ෂණයෙන් පෙනේ.
එසේම හංස
නැටුම නිර්මාණයේදී සහ නළ හා කලිබතර සටන් අවස්ථාවේදී බටහිර බැලේ ලක්ෂණ යම් පමණකට දක්නට
ඇති බව පෙනේ. හංසවිල බැලේ නාටකයෙහි අභාෂය සහ බටහිර බැලේ වල එන උඩපැනිලි කැරකිලි වැනි
චලන යොදාගෙන ඇත. එසේ වුව ද එමඟින් ලද අභාෂය මිස එකී චලන ක්‍රම අමු අමුවේ යොදා ගැනීම
කවරවිටකදී වුව ද දක්නට නොමැත. නළ කුමරු දුන්න සකස් කිරීම විදීම ආදී අවස්ථා සඳහා භාරතීය
හස්ත මුද්‍රා යොදාගෙන ඇත.
සමස්තයක්
ලෙස ගත් කළ නළ දමයන්ති මුද්‍රා නාට්‍යයෙහි නර්තන නිර්මාණය සඳහා භාරතීය නර්තන සම්ප්‍රදායන්ගේ
ද බටහිර බැලේ නර්තනයෙන් ද අභාෂය ලබාගෙන ඇත. එහිදී එකී නර්තන චරිතයෙහි අවශ්‍යතාවය මත
හසුරුවගනිමින් කිසිඳු සම්ප්‍රදායික ශෛලියක ලක්ෂණ ඉස්මතු නොවන සේ රංග රචනය කර ඇත.
චිත්‍රසේන මහතාගේ දෘෂ්ටියෙහි හරය වූයේ චරිතයෙහි සාර්ථකත්වය මිස යොදා ගන්නා නර්තනයෙහි
සම්ප්‍රදායික බව නොවේ.
👌👌👌
ReplyDelete👌👌👌👌👌👌👌
ReplyDeleteගොඩක් වටිනවා...🙏🏻
ReplyDelete