Friday, July 19, 2019

නළ දමයන්ති


දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ අද්විතීය නිර්මාණයක් ලෙස චිත්‍රසේනයන්ගේ “නළ දමයන්ති” මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකිය. නළ දමයන්ති මුද්‍රා නාටකයට පසුබිම් වී ඇති කතා පුවත ඉන්දියානු මහා කාව්‍යයක් ලෙස සැලකෙන මහා භාරතයේ එන අතුරු කතාවකි. කුරු පාණ්ඩව යුද්ධය පසුබිම් කොට ගෙන ලියවී ඇති මහා භාරතයේ එන එක් අවස්ථාවක පාණ්ඩවයන්ගේ ප්‍රධානියා වන යුධීෂ්ධීර රජු දුර්යෝජන නමැති තම ඥාති සොහොයුරාගේ උපායකට හසු ශකුනි නමැති  කෙළියෙහි දක්ෂයෙකු සමඟ දාදු ක්‍රීඩාවෙහි යෙදෙයි. තම ධනය ද තම රාජ්‍යය ද අවසානයේදී තමන්ගේ භාර්යාව ද ඔට්ටු තබමින් දූ කෙළියෙහි යෙදෙන යුධීෂ්ධීර රජු ඒ සියල්ල ද අහිමි කර ගනියි. දූ කෙළියෙන් පරාජයට පත් යුධීෂ්ධීර රජු චිත්ත කනස්සල්ලට පත් ව සිටින විට බ්‍රහදශ්ව නම් ඍෂිවරයා යුධීෂ්ධීර වෙතට පැමිණේ. එහි දී තමාට වඩා අවාසනාවන්ත තවත් රජකෙනෙක් සිටිද්දැ යි යුධීෂ්ධීර බ්‍රහදශ්ව ඍෂිවරයාගෙන් විමසා සිටියි. යුධීෂ්ධීරගේ චිත්ත සන්තාපය දුරු කිරීම සඳහා බ්‍රහදශ්ව ඍෂිවරයා නළ දමයන්ති කතා පුවත යුධීෂ්ධීරට කියයි.
ඉන්දියානු මහා කාව්‍යයක් වන මහා භාරතයෙහි නළ දමයන්ති කතා පුවත දැක්වෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයෙන් අතුරු කතාවක් වශයෙනි. අතිශයින් ම රසවත් කතා පුවතක් වන නළ දමයන්ති කතා පුවත භාරතීය නෘත්‍ය නායකයන්ට ද සංස්කෘතික නාට්‍යයන්ට ද තේමා වූ අතිශයින් ම ජනප්‍රිය වෘතාන්තයකි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන නළ දමයන්ති මුද්‍රා නාට්‍යය මහා භාරතයේ එන මුල් කතා පුවත තේමා කොට ගනු ලැබූවේ වුව ද මහා භාරතයේ කතා පුවතට වඩා සුළු වෙනස්කම් එහි දක්නට ඇත. මුද්‍රා නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමේ දී මුල් කතා පුවතේ ඇතැම් අවස්ථා මුද්‍රා නාට්‍යානුකූල ස්වරූපයෙන් දැක්වීමේ අවශ්‍යතාවය මත වෙනස් කර ගනු ලැබූව ද මුල් කතාවෙහි තේමාවට එමගින් කිසිඳු හානියක් සිදු කර නැත.

ශ්‍රී ලාංකීය නළ දමයන්ති මුද්‍රා නාට්‍යයේ එන කතා පුවත පහත දැක්වේ.