Monday, July 1, 2019

බෙරයේ ඉතිහාසය





ලාංකේය සාම්ප්‍රදායික කලාවන් අතුරින් නර්තනය හා බෙර වාදනයට සුවිශේෂිත්වයක් හිමිවේ. නර්තන කලාවේ ආරම්භයටත් පෙර සිටම බෙර සෑදීම හා වැයීම සිදු කර තිබේ. ලාංකේය බෙර වාදන සම්ප්‍රදාය සිංහල සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන ප්‍රබල කලා මාධ්‍යයකි. බෙරය යන වචනය පිළිබඳ නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමේදී නිර්වචන කිහිපයක් හමුවේ.


සුමංගල ශබ්ද කෝෂයේ “බෙර” යන වචනය අර්ථ නිරූපණය කර ඇත්තේ “භේරී” ලෙසයි. “භේරී” යනු පුරාණ සංස්කෘත වදනකි. වර්තමානයේ ද ලාංකේය ග්‍රන්ථයන්හි බෙර වාදනය භේරී වාදනය ලෙසින් දක්වා තිබීම දැකගත හැකිය.
බෙරය” යන වචනය ඉංග්‍රීසි බසින් Drum ලෙස හඳුන්වයි. ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ “Drum” යන වචනය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

"A percussion instrument with a skin stretched across a frame, sounded by being struck."
ඉහත නිර්වචනයට අනුව බෙරය, පහරදීමෙන් ශබ්දය විහිදුවන ආකෘතියක් හරහා හමක් ඇදීමෙන් සාදාගන්නා ලද සමාඝාත තූර්යභාණ්ඩයකි. ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ ම මේ සඳහා තවත් නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ.
"A cylindrical containeror part. " බෙරය යනු සිලින්ඩාකාර බඳුනක් හෝ කොටසක් බව මෙම නිර්වචනයට අනුව පැහැදිලි වේ.

බෙර වාදන ශිල්පයේ ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන බව පුරාවිද්‍යා සාධක මඟින් හෙළිවෙයි. ලෝකයේ සියලු වැසියන් හට පොදු භාෂාවක් වූ සංගීතය මිනිසා ලොව පහළ වූ දා සිට ප්‍රභවය ලැබී ය. සමාජයේ යම් යම් අවශ්‍යතාවන් මත මිනිසා විසින් ම නිර්මාණය කර ගන්නා ලද කලාව මිනිසා සමඟ වැඩුණි. ස්වභාවධර්ම ඇකයෙහි සුවසේ වැඩුණු ආදි මිනිසා කලාව නිපදවා ගනු ලැබුවේ ස්වභාවධර්මය අනුකරණය කරමිනි. ප්‍රාග් ඓතිහාසික යුගය නොහොත් පැලියොලිතික් යුගය ලෙස හඳුන්වන කාල වකවානුවේ දී මානවයා වනාන්තරයේ ගුහාශ්‍රිත ව වාසය කර ඇත්තේ රංචු වශයෙනි. එහෙයින් එකිනෙකා අතර හැඟීම් අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම ආරම්භ වී ඇත.

විවිධ ස්වාභාවික උපද්‍රව මෙන්ම සත්ත්ව ආක්‍රමණ ආදිය මැඩගෙන ජීවත් වීමට ආදි මානවයා මහත් වෙහෙසක් දැරීය. සූර්ය ගමනය, වර්ෂාව, ලැව් ගිනි, ජල ගැලීම් ආදිය ඇති වීම පිළිබඳ අවබෝධයක් ඔවුනට නොතිබුණි. තම ජීවිතය පාලනය කරනු ලබන්නේ කිසියම් උත්තරීතර බලයකින් බව ඔවුහු විශ්වාස කළහ. විවිධ ලෙඩ රෝග ආදියට ගොදුරු වන්නේ මෙම බලපෑම් නිසා බව විශ්වාස කළ ඔවුහු එම බලවේගයන්ට දේවත්වයක් ආරූඪ කර එම දෙවිවරුන්ට වැඳුම් පිඳුම් කළහ. මේ ආකාරයට නොපෙනෙන බලවේග යදින අවස්ථාවන්හි යම් ශබ්දයන් නිපදවා ගැනීමට ඔවුහු තමන්ගේ සිරුරේ කුසටල පපුවටල කලවා වලට හා ලිංගේන්ද්‍රියන්ට ආදී අංගයන්ට අතින් පහර දුන්හ. තමන්ගේ කටහඬින් එක් එක් ශබ්ද නිකුත් කළහ. දේව අවධානය ලබා ගැනීම උදෙසා ගැයීමක ආකාරයෙන් දෙවිවරුන්ට යාඥා කළහ. සංගීතයේ ආරම්භය ඇතිවූයේ මෙහිදී ය. සංගීතය ආරම්භ වූයේ ද පක්ෂීන්ගේ හා වන සතුන්ගේ නාද අනුකරණය කිරීමෙන් යැයි අනුමාන කළ හැකි බව ජේ.. සේදරමන් මහතා “ උඩරට නැටුම් කලාව ” නම් කෘතියේ සඳහන් කර තිබේ. මේ ආකාරයට ආගමික මුහුණුවරක් ගනිමින් ගායන හා වාදන කලාව ආරම්භ විය.

වැද්දන්ගේ යාග නැටුම් වලදී බෙර වාදනය වෙනුවට දැකිය හැක්කේ යටිබඩට තැලීමේ සිරිතකි. යටිබඩට තැලීමෙන් කිසිඳු රිද්මයක් ජනිත නොවන අතර එය රිද්මය ගෙන දීමට විශ්වාසය මත ප්‍රගුණ කරගත් දෙයක් බව පෙනේ.

ලෝකයේ ඇතැම් ගෝත්‍රිකයින් අතර ඇති ගස් බෙරය (දඬු බෙරය) නැටීමට රිද්මයක් ලබා ගැනීමට වඩා ශබ්දයක් උපදවා ගැනීමේ පරමාර්ථයෙන් නිෂ්පාදනය කරගන්නා ලද්දකි. බොකු හම්වලට කෝටු වලින් තැලීම හම් බැඳි බෙර වර්ගවල උපත බව ජේම්ස් හේස්ටින් මහතාගේ මානව විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත. බොකු හම් මිටියක් එකට ඔතා බැඳ එයට ලී කෝටුවකින් තැලීම මැලේසියානු දූපත් ගෝත්‍රිකයින්ගේ චාරිත්‍රයක් විය. චාකෝ ඉන්දීය ගෝත්‍රිකයන්ගේ නැටුම් වලදී ද මෙසේ එකට ඔතා ගත් බොකු  හම් මිටියකට තලති. මෙසේ හමට තැලීම එක්තරා විශ්වාසයක් මත සකස් වාරිත්‍රයකි. බෙර වාදනය සඳහා කෝටු යොදා ගැනීම ද ලිංගේන්ද්‍රියන්ට සම්බන්ධ ඇදහීමක් නිසා හට ගත් බව මහාචාර්ය සැක්ස් මහතා පවසයි. අන්දමන් දූපත් ගෝත්‍රිකයින්ගේ නැටුම් භූමිය වටා හිඳගත් ස්ත්‍රීහු යෝනි ප්‍රදේශයටත් යටිබඩටත් කරන තැලීම ද බොකු හමට කෝටු වලින් තැලීමට සමානය.මෙම චාරිත්‍ර දෙකෙහිම ඇත්තේ ප්‍රජනනය මත සකස් වූ විශ්වාසයකි.

නැගෙනහිර අප්‍රිකානු ජනයා කෝටුව වෙනුවට මිනිස් සිරුරෙන් කපාගත් පුරුෂ ලිංගයක් ඒ සඳහා යොදා ගත්හ. පුරුෂ ලිංගය හෝ පුරුෂයන්ගේ ඇට කෝටු යොදා ගැනීමෙන් පෙනී යන්නේ මෙම බෙරය වැයීම අභිචාර ක්‍රමයක අංගයක් බවයි.

විවිධ ආකාර වලින් සකසා ගත් බෙර වර්ග විවිධ අවසථා වලදී මිනිසා විසින් යොදා ගන්නා ලදී. පැසිපික් දූපත් වල ඇතැම් ජනයා ධාන්‍ය ඇට වර්ග පුරවන ලද දිග උණ බම්බු වලට ගැසීමෙන් හඬක් උපදවා ගෙන තිබේ. මෙය ඉන්දුනීසියාවේ ඇතැම් ජන කොටස්වල කෘෂි උත්සව වලදී කරන ක්‍රියාවකි.
 ලෝක ඉතිහාසය තුළ බෙර වාදන කලාවට දීර්ඝ ඉතිහාසයක් පවතියි. ආදි  මිනිසා රිද්මය පවත්වා ගෙන යාමට යොදාගත් භාණ්ඩය වූයේ පොළොවෙහි හාරන ලද වලක් මත සුඹුලකින් වසා සාදාගන්නා බෙරයක් වැනි වාද්‍ය භාණ්ඩයකි. ඒ මත පය ඝට්ටනය කරමින් ශබ්දය නැංවීය. කාලය ගෙවෙත්ම එහි සුඹුල වෙනුවට හමක් යොදා විශාල ලී කැබැල්ලකින් පහරදීමෙන් ධ්වනියක් උපදවා ගන්නා ලදී. භූමියෙහි කුහරයක් සාදා ඒ මත සමක් එළා ගැනීමෙන් සකස් කොට ගත්තේ “භූමි දුන්දුහි” යයි. දණ්ඩෙන් වාදනය කළ විට ගිගුම් දෙන හඬක් නැංවූ දුන්දුහිය අඹ ලීයෙන් ද තනාගත් බව කියවේ. දුන්දුහිය සංග්‍රාම අභිචාර ක්‍රම සඳහා යොදා ගත් එකැස් බෙරයකි. මෙසේ හමකින් බඳිනු ලැබූ බෙර වර්ග බොහොමයක් අතීතයේ සිට පැවති අතර ඒවා “භෙරී සහ දුන්දුහි” නමින් හැඳින්විය. නාගරා ගෝත්‍රිකයන් අතර මෙය භාවිතා වූ බව සඳහන් වේ. මුළු ලොවම ආගමික උත්සව, නැටුම්, ගැයුම් ගෝත්‍රික අවශ්‍යතාවන් සඳහා වාදනය පිණිස බෙරය යොදා ගත්හ.

ලංකාවේ වාද්‍ය භාණ්ඩ ඉතිහාසය පිළිබඳව කරුණු සැලකීමේ දී අතීතයේ සිට ගායන, නර්තන, වාදන අංග මෙරට තිබූ බව පැහැදිලි වේ. එසේ වුව ද පැහැදිලි සාක්ෂියක් ලෙස දැක්විය හැක්කේ විජය කුවේණි දෙදෙනා එක් වූ දින රාත්‍රියේ සිරසවස් පුරයේ පැවති මංගල උත්සවයකින් සංගීත ශබ්දයක් නිකුත් වූ බවට මහා වංශයෙහි සඳහන් පාඨයයි. ඒ අවස්ථාවේ ඇසුණ ශබ්දය පිළිබඳ ව විජය කුමරු කුවේණියගෙන් විමසීමේදී ඊට පිළිතුර වූයේ එය සිරසවස්තු පුරයේ යක්ෂ කුල කාන්තාවක් විවාපත් කරදෙන විවාහ මංගල උත්සවයෙන් ඇසෙන සංගීත රාවයක් බවයි. එහිදී කෙසේ ගායනා කළා ද, කුමන සංගීත භාණ්ඩ වාදනය කළා ද යන්න පිළිබඳ නිශ්චිත සඳහනක් නොමැති වුව ද, කිසියම් ගායන හා වාදන ක්‍රමයක් පැවති බවට එම සාක්ෂිය ප්‍රමාණවත් වේ. පසු කාලයේ පණ්ඩුකාභය රජු විසින් චිත්තරාජ හා කාලවේල යන යකුන් පිදීමට ද උත්සවයක් පවත්වන ලදී. එහි දී ද බෙර වාදනයන්, ගායනයන් හා නර්තනයන් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඉන් පසුව ද ලක්දිව රජ වූ බොහෝ රජවරුන් විවිධ අවස්ථා වලදී සංගීත භාණ්ඩ ලෙස බෙර යොදා ගත් අවස්ථා ඇත. මහා වංශය ථූප වංශය ධාතු වංශය දළදා සිරිත දඹදෙනි අස්න ආදියෙහි ලංකාවේ භාවිත වූ බෙර වර්ග ගණනාවක නම් සඳහන්ව ඇත. එයින් ගම්‍ය වන්නේ අතීතයේ සිට ම බෙර වාදනය පැවති බවය.
ඉන් පසු බුදු දහම පැමිණීමත් සමඟ භාරතයෙන් සූසැට කලාවන් පැමිණීමත් ශ්‍රී මහා බෝධි ආගමනයත් හේතුවෙන් අවනද්ධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලංකාවට ලැබුණ බව පැහැදිලිය. ඒ හේතුවෙන් ශ්‍රී ලාංකේය වාදන කලාව තව තවත් පෝෂණය විය.

ආතත, විතත, විතතාත, ඝන, සුසිර යන සංගීත භාණ්ඩ වර්ගීකරණය අපට හමුවන්නේ මහා වංශයට ලියන ලද අටුවාවක් වූ වංසත්ථප්පකාසිනියෙනි. පැරණි සම්ප්‍රදාය අනුව තත් හා තන්ත්‍රී භාණ්ඩ හැර අනිත් තූර්යභාණ්ඩ සියල්ලම කොටස් පහකට බෙදේ. එය පංචතූර්යනාදය ලෙස හැඳින්වේ. ඒ මෙසේය.

ආතත - අතින් පමණක් වයනු ලබන වාද්‍ය භාණඩ
විතත  - කඩිප්පු ආදී උපකරණයකින් වයනු ලබන වාද්‍ය භාණ්ඩ
විතතාත         - කඩිප්පුවකින් හා අතින් වයනු ලබන වාද්‍ය භාණ්ඩ          
ඝන    - ලෝහ වලින් සාදන ලද වාද්‍ය භාණ්ඩ     
සුසිර   - සුළඟේ ආධාරයෙන් හඬ උපදවන භාණ්ඩ         
  
ආශ්‍රිත ග්‍රන්ථ
කුලතිලක, සී..එස්, (1974) , ලංකාවේ සංගීත සම්භවය,ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම,කොළඹ
සුරංගි, ඩී.එස්.පී, ( 2003) ,  බෙරය වාදනය හා විකාශනය, සක්වා ප්‍රින්ටර්ස්, අම්බලන්ගොඩ
සේදරමන්, ජේ., (1958) , නෘත්‍ය රත්නාකරය,  ඇම්.ඩී.ගුණසේන සහ සමාගම, කොළඹ

3 comments: