Monday, April 15, 2019

හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි නාට්‍යය" රසවින්දනය




නාට්‍යය වනාහි කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් හෝ නළු නිළියන් මාර්ගයෙන් සතර අභිනයන් භාවිතයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපුර්වත්වයෙන් යුතු ව නිරූපණය කරන්නා වූ කලාවකි. ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්’ දක්වන ආකාරයට නාට්‍යය යනු, ප්‍රේක්ෂකයාට විනෝදය සැපයීම පමණක් නොව ප්‍රේක්ෂකයා බුද්ධියට ගොදුරු කර ගැනීමක් ද වේ. 


සංවාද, දෙබස්, ආත්මභාෂණ, ගීත ආදියෙන් නාට්‍යයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයා වෙතට ගෙන යයි. ශරීරයේ  ශිථිලකරණය, රිද්මය, නම්‍යශීලිත්වය, ශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් නාට්‍යක් තුළ අංග, ප්‍රත්‍යංග, උපාංග භාවිත කරමින් අර්ථයන්, හැඟීම් පළ කරයි. ස්ථම්භ, රෝමාංච, වේපථු, ස්වරභංග, අශ්‍රැ, ස්වේද, වෛවර්ණස්‍ය, ප්‍රලය ආදී භාවයන් චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව නාට්‍යයක දී ඉදිරිපත් වන බව භරතමුනිවරයා ගෙන හැර දක්වයි. තව ද නළු නිළියන්ගේ රංගනය තහවුරු කිරීමට, ඉස්මතු කිරීමට උපකාරී වන බාහිර සාධකයන් එනම් රංග භුමිය, වේෂ භූෂණය, නාට්‍ය උපකරණ, අංග රචනය, රංගාලෝකය, සංගීතය යනා දී ආහාර්ය අභිනය යොදා ගනී. ප්‍රත්‍යක්ෂ ලෝකයේ සතුට හෝ ශෝකයට මදක් වෙනස් වූ අපූරු වින්දනයක් ජනිත කරවීමට නාට්‍ය සමත් වේ. නාට්‍ය පිළිබඳ විචාරක්ෂියේ දී විද්‍යාමාන වන්නක් වන්නේ සෑම නාට්‍යකට ම ප්‍රකාශන විලාසයක් පවතින බව ය. 
ලාංකේය නූතන වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන සටහනක් තැබූ සිය වස්තු විෂය වේදිකාවේ අපුර්වත්වයෙන් හැසිර වූ නාට්‍යවේදියෙක් ලෙස හෙන්රි ජයසේනයන් හැඳින්විය හැක. නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, යනා දී විවිධ මානයන්ගෙන් හෙන්රි ජයසේනයන් හඳුනාගත හැක. නූතන සිංහල නාට්‍ය රසිකයන් සොයා ගිය ගමන් මගෙහි අතිවිශිෂ්ඨ නිර්මාණකරුවෙකු ලෙස හෙන්රි ජයසේනයන් හඳුන්වාදිය හැක.ලෝකධර්මී හා නාට්‍යධර්මී ලක්ෂණ සංකලනය කරමින් නවමු මගක් ඔස්සේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මොහු සමත් විය. මනමාලයෝ, වැදගත්කම, ඇත්ත කුමක් ද, හුණුවටයේ කතාව ආදී පරිවර්තනයන් ද පව්කාරයෝ, ජනේලය, කුවේණි යනා දී ස්වතන්ත්‍ර නිර්මාණයන් ද ඔහුගේ නිර්මාණ අතර වේ.
මා විසින් විමසුමට ලක් කරනු ලබන්නේ හෙන්රි ජයසේනයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ කුවේණි වේදිකා නාට්‍යය යි. ආචාර්ය සරත්චන්ද්‍රයන් දියත් කළ නාට්‍ය සම්ප්‍රදායට නතු නොවූ මොහු නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා නව මංපෙත් සොයා ගියේ ය. එකී උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස කුවේණි නාට්‍ය හඳුන්වා දිය හැකි ය.
යකින්නියක ලෙස සමාජයේ හංවඩු ගැසූ කුවේණියගේ කතා පුවත වර්තමානයට ගළපමින් මෙකී නාට්‍යය තුළ මනා සේ විදහා දක්වයි. තමා සමඟ පෙමින් බැඳුණු විජය කුමරුගේ යහපත පිණිස සිය ඥාතීන් මරා දැමූ කුවේණිය වසර ගණනක් ඔහු සමඟ දිවි ගෙවා ජීවහත්ත, දිසාලා යන දරුවන් දෙදෙනාගේ මෑණියන් බවට පත්වෙයි. වංශවත් කුමාරිකාවක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සරණ මංගල්‍යයක් සිදුකිරීමේ අටියෙන් විජය කුමරු කුවේණිය හා දරු දෙදෙනා මාලිගාවෙන් පිටමන් කරනු ලබයි. පිටමන් කරනු ලැබූ කුවේණිය ඇගේ දරුවන් දෙදෙනා සමඟ වනගත වන අතර දාරක ස්නේහයෙන් ඔද වැඩී ගිය කුවේණිය තම නෑසියන්ගෙන් සමාව අයැදීමට තීරණය කරයි. තමා පැමිණෙන තුරු මඟ බලා  සිටින ලෙස දරුවන්ට පවසා ඈ පිට වුව ද ඇයට ඇය බලාපොරොත්තු නොවූ අයුරින් නෑ පිරිවරගෙන් ගල් මුල් පහර කා ඝාතනය වීමට සිදුවිය. අවුරුදු දෙදහස් පන්සියයකට පෙර එදා කුවේණිය තම දරුවන් රඳවා ගිය තැන තවමත් ඔවුන් බලා සිටියි. අතීතයේ කුව්ණියගේ කතාව අතීතාවර්ජන ලෙස දක්වමින් කුවේණිගේ කතාව වර්තමානය හා සැසඳීමත් කුවේණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් හඬක් නැඟීමටත් හෙන්රි ජයසේනයන් කුවේණි නාට්‍යය යොදාගෙන තිබේ. ෆැන්ටසි නාට්‍ය සංකල්පය අනුගමනය කරමින් අතීතය හා වර්තමානය වේදිකාවේ එකට නිරුපණය කිරීමට හෙන්රි ජයසේනයන් මෙහිදී උත්සාහ දරා තිබේ.
වසර දෙදහස් පන්සිය ගණනක් තම මව පැමිණෙන තෙක් බලා සිටි ජීවහත්ත, දිසාලා යන දරුවන් දෙදෙනාට වර්තමාන සමාජයේ දඩයක්කරු හමුවේ. එයින් ඇරඹෙන කුවේණි නාටකය මොවුන් තිදෙනාගේ සංවාදයන් ඔස්සේ ඉදිරියට දිග හැරේ.
අන්ධකාරේ දුරාතීතේ       - අන්ධකාරෙට අනාගතේ
රැගෙන යාමට කතා පුවතක්    - අන්ධකාරේ සිට කියන්නේ             
බොහෝ දේ සිදු වූ අතීතේ     - වැළලිලා ඇත අන්ධකාරේ 
පොළෝ පස් යට උනුන් කඳුලැලි   - ලෙයත් ඩහදිය එකට මුසුවී    (පිටුව 13)
නාට්‍යය ආරම්භයේ ම අන්ධකාරය යන යෙදුම යොදා ගනිමින් වේදිකාවේ අන්ධකාරයේ සිට මෙය  ගායනය කරයි. අන්ධකාරයෙන් වැසීගිය කතා පුවතක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවත් ලේ කඳුළු දහදිය සමඟ අතීතයේ පොළෝ තලයේ වැළලී ගිය කතාවක් යළි පැළවෙන්නා සේ නැගී එන බවත් මෙහි දී පවසයි. වේදිකාව ක්‍රමයෙන් ආලෝකමත් වෙමින් දෙදහස් පන්සිය වසරක් අන්ධකාරයෙන් ගිලී පැවති කුවේණියගේ පුවත, අන්ධකාරය මැදින් එබී බලන්නට මෙහි දී වෑයම් කර තිබේ.
ගල්කුලක් මත මෑණියන් බලාපරොත්තුවෙන් සිටින ජීවහත්ත, දිසාලා අතීතය නියෝජනය කරනු ලබන්නා සේ ම තුවක්කුවක් අතින් ගත් දඩයක්කරුවා වත්මන් සමාජය නියෝජනය කරනු ලබයි. අතීතයේ අන්ධකාර සංකේතයෙන් ඇරඹි නාට්‍යය වර්තමාන දඩයක්කරු වෙතට පිවිස ඇත.
එතැන් පටන් ජීවහත්ත, දිසාලා යන දරු දෙදෙනා හා දඩයක්කරු අතර ඇතිවන දීර්ඝ සංවාදය පුරා ම අතීතයත් වර්තමානයත් අතර අදහස් හුවමාරු වේ. අතීතයත් වර්තමානයත් එක ම වේදිකාවේ එක ම අවස්ථාවේ එකට මුණගැසී සංවාදයකට යොමු කිරීම නාට්‍යකරුගේ නිර්මාණාත්මක චින්තනය හුවා දක්වන එක සාධකයකි.
හෙන්රි ජයසේනයන් මෙම නාට්‍යය නිර්මාණාත්මක කරගනු වස් ලෝකධර්මී හා නාට්‍යධර්මී ලක්ෂණ එකම වේදිකාවක මාරුවෙන් මාරුවට භාවිත කරනු ලබයි. පූරක සහ ගායකයෝ ගයනු ලබන ගීත නාට්‍යධර්මී ලෙසත් ජීවහත්ත, දිසාලා දඩයක්කරු අතර සිදුවන සංවාද ලෝකධර්මී ලෙසත් ඉදිරිපත් කර තිබේ.
මෙහි කතා වස්තුව ප්‍රේක්ෂකයාට කියා පාන්නේ දඩයක්කාරයා හා දරු දෙදෙනා අතර ඇතිවන සංවාදය මුල් කොටගනිමිනි. වර්තමානයේ දඩයක්කරු කුවේණිය එන තෙක් මඟ බලා සිටින දරුවන්ට ඉතිහාසය කියා දෙන්නේ සුරඟන කතාවක් කියන්නා සේ ය. මේ අතර වරින් වර ගායකයෝ මැදිහත් වන අතර එම ගීත අතීතය නියෝජනය කරයි. මෙහි දී නාට්‍යකරුවා වේදිකාවේ නිරුපණය කළ හැකි අවස්ථා වර්තමානයේ ඉදිරිපත් කිරීමට යොදා ගැනීමටත් වේදිකාවේ සැබවින් නිරුපණය කළ නොහැකි අවස්ථා සඳහා ගායකයින් යොදා ගැනීමටත් සුක්ෂම වී ඇත.
සම්මතයෙන් යකින්නියක වූ කුවේණියට සම්මතයෙන් ඔබ්බට ගිය වෙනස් වූ ස්වරුපයක් ආරෝපණය කිරීමට නිර්මාණකරුවා උත්සුක විය. ඉතිහාසය තුළ කුවේණිය මායාකාරියක යකින්නියක ලෙස හංවඩු ගැසුව ද හෙන්රි ජයසේනයන් නම් කලාකරුවා ඇගේ චරිතය දෙස දයානුකම්පිත ව බැලීමට තැත්  කළ අයුරු මෙම නාට්‍යයෙන් පෙනී යයි. මෙහි දී එදා ගැහැණියත් අද ගැහැණියත් මානුෂික හැඟීම් තුළ සමානත්වයක් දරන බව දන්වන නිර්මාණකරුවා අතීතයේ කුවේණියට සිදු වූ මෙම සිදුවීම එදා මෙන් ම අදත් වන සත්‍යයක් බවට දක්වයි. පුරුෂාධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන සෑම ගැහැණියක් ම දුක් පීඩාවලින් බැට කන බව නාට්‍යකරුවා විදහා දක්වයි. කුවේණි නාට්‍යයෙන් සමාජය වෙත හෙලන පණිවිඩය හා දර්ශනය වන්නේ ද මෙයයි.
ස්වාමියා විසින් අත්හරිනු ලදුව දරුවන් සමඟ මහමගට බට එක ම ස්ත්‍රිය කුවේණිය නොවන බව මොහු නිර්මාණාත්මක ලෙස පෙන්වා දෙයි. එදා සිට අද දක්වා එවන් ඉරණමකට හසු වූ දස දහස් ගණනක් කුවේණිලා ලාංකේය සමාජයේ සිටින බව මෙම නාට්‍යය තුළින් සාක්ෂාත් කරනු ලබයි. කුවේණිය පිළිබඳ ඉතිහාසයේ දැරූ සමාජ ආකල්ප මෙහි ගායනා තුළින් පිළිඹිබු වේ. කුවේණිය මන්ත්‍ර ජපකරන්නියකි. මුහුදු දිය කළඹ කුණාටු මවන මිනී මස් බුදින කුවේණිය ගැන නොදන්නේ කව්රුන්දැ යි කවි මගින් විමසයි. 
මන්ත්‍ර මායා ජප කරන්නිය -   සක්වලින් මාරුත ගෙනෙන්නිය
භූත වෙස් ගෙන සැරිසරන්නිය - සයුරු නැව් ගිල්වා මුහුදු දිය කළඹා 
රත් නුවන් අහසට බමන්නිය - රත් මලින් සියොලඟ සදන්නිය 
රන් දළින් නරයන් බුදින්නිය - නොදන්නෝ කවුරු කුවේණිය රුදුරු  (පිටුව 18)
මෙම ගීතයෙන් කුවේණියගේ ස්වරූපය ඉතා නිර්මාණශීලී ලෙස දක්වා තිබේ. ප්‍රවේශමෙන්  හා සුක්ෂම ලෙස මෙහි දී භාෂාව හසුරුවා තිබීමෙන් ප්‍රේක්ෂකයාට පහසුවෙන් ගීතයේ අරුත් වටහාගත  හැකි ය.
සමාජය ඉදිරියේ කුවේණිය යකින්නක වුව ද දරුවන්ට ඇය ලය පුරා සෙනෙහසින් ඔවුන්ව හදාවඩාගත් මෑණියන් ය. දසමසක් කුස දරා ඇඟ රුහිරු කිරි කර දුන් මෑණියන් ය.
මුදු මොළොක් මල මෙනේ - කුස දරා බැති පෙමින් 
වේදනා විඳිමිනේ                 -  අප ලොවට බිහි කෙරූ 
ළය පුර සෙනෙහසින් - අප දෙදෙන වැඩු පෙමින් 
මව් තොමෝ කුවේණී - යකිනි වෙද මේ කියන 
යකිණියක ඇඟ රුහිරු - කිරි වේද කිසි දිනෙක 
මෑණියන් මා පෙවූ       - කිරි දහර රුහිරු විද       (පිටුව 19)
දිසාලා තම මවගේ දාරක ස්නේහය නාට්‍ය තුළ මෙසේ හෙළි කරද්දී මවකගේ ලෙන්ගතුකම සෙනෙහස ප්‍රේක්ෂක සිත් සතන් තුළට කිඳා බසියි. සමාජයට කුවේණිය යකින්නක වුව ද තවත් ආකාරයට ඇය දයාබර මෑණියක බව නිර්මාණකරුවා පසක් කරයි.
හෙන්රි ජයසේන නාට්‍යකරුවා තුළ විසූ සාහිත්‍යකරුවා මතු වී පෙනෙන අයුරින් නාට්‍යය තුළ ගීත ගැබ් කර තිබේ.
සත් සියක් කපු මල් රැගෙන මම - සත් සියක් සුදු කෙඳි රැගෙන මම 
සත් සියක්  කපු පිළි වියන මම     - සත් සියක් ගෙල පළඳිතේ 
සත් සියක් රත් මල් රැගෙන මම    - සත් සියක් රත් හුය රැගෙන මම 
සත් සියක් මල් දම් ගොතන මම - සත් සියක් ගෙල පළඳිතේ
සත් සියක් මාලා බෙලෙන් මම    - සත් සියක් බන්දන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම          - ගෙන් වූ කුමරුන් අද එතේ   (පිටුව 24-25)
නාට්‍යකරුවා මේ ගීය රචනයේ දී සත් සියක් යන වචනය පුනරුක්තියක් ලෙස භාවිත කරන්නේ එතුළින් ගීතයකට නවමු වාග්මය රටාවක් හා අරුත්බර ස්වභාවයක් එක් කිරීමට ය. සත් සියක් පිරිසක් කපු මල් සුදු කෙඳි රැගෙන සළු වියන්නේ සත් සියක් දෙනෙකුගේ ගෙල පැළදීමට ය. රත් මල්, රත් හුය යන සංකේත තුළින් ඇය යක්ෂ ගෝත්‍රික ස්ත්‍රියක් බව විටින් විට ප්‍රේක්ෂක සිත් සතන් තුළ ජනිත කරවයි. සත් සියක් සළු වියන්නේ සත් සියක් දෙන සමඟ විජය කුමරු පැමිණි පසු පැළඳ වීමටයි. මෙම නාට්‍යයේ කුවේණිය පිළිබඳ ව මුල සිට ම සාකච්ඡාවට බඳුන් කෙරුණත් ප්‍රථමවරට කුවේණිය වේදිකාවේ සැබවින් ම පෙනී සිටින්නේ මේ අවස්ථාවේදී ය. මෙම අවස්ථාව කුවේණි නාට්‍යයේ ඉතාමත් චමත්කාරජනක අවස්ථාවකි. ගීතයේ පද මාලාව ගායන විලාශය රංගන ශිල්පිනියගේ අනුකරණාත්මක ලක්ෂණ සාත්වික අභිනය ප්‍රේක්ෂකයාට අපූරු රසිකත්වයක් ගෙන දෙයි. වේදිකාව තුළ අවස්ථානෝචිත ව යොදන ආලෝකකරණයත් පසුබිම් වාදනයත් ප්‍රේක්ෂකයා  තුළ එකිනෙකට වෙනස් වූ හැඟීම් වරින් වර උද්දීපනය කිරීමට හා ඔවුන් තුළ කුතුහලය ඇති කරමින් ඔවුන්ව ඇඳ බැඳ තබා ගැනීමට හෙන්රි ජයසේනයන් යොදාගෙන තිබේ.
රත් පැහැ ගැන්වූ  ආලෝකය සමඟින් බෙර තාලය කෙමෙන් වැයෙමින් විජය කුවේණි හමුව එළඹෙයි. මේ අවස්ථාවේ කුවේණි තමා අසරණ බවත් තමාට සරණ වන්නේ නම් කිරුල දෙන බවටත් සනාථ වෙයි. ඒ බව පවසන්නේ ගීයක් මාර්ගයෙනි.
චන්ද්‍ර කිරණින් දිසි කුවේණිය
 මා වසී කල මායකාරිය 
තී දුනොත් තිට හිමි කිරීටය
අභය දෙන්නෙමි 
  තී රකින්නෙමි
  මෙහි වෙසෙන්නෙමි 
තී සමඟිනා -රජ කරමිනා //  (පිටුව 26)
මෙකී නාට්‍ය තුළ තීව්‍ර අවස්ථා නිරුපණයන් අතර දුර්වල අවස්ථා නිරුපණයන් ද පවතින බව මෙම අවස්ථාවේ දී මතු වෙයි. කුවේණිය හා විජය අතර ඇති වූ මෙම සංවාදය නාට්‍යයේ සුවිශේෂී සිදුවීමක් වුව ද එහි අවස්ථා නිරුපණය අලංකාර, ගාම්භීරත්වයෙන් යුතු ව හෝ ගැඹුරින් සිදු නොවේ. ඉතා හදිසියේ සිදු වූ නොවැදගත් සිදුවීමක් ලෙස සලකයි.
මෙතෙක් ප්‍රේක්ෂකයා දකිමින් සිටියේ අන්තර් ජවනිකාවක් බව හඟවමින් ජීවහත්ත, දිසාලා හා දඩයක්කරු අතර සංවාදය නැවත වේදිකාව තුළ දර්ශනය වෙයි. ආලෝකකරණය ඇතුළු අනුශාංගික අංගයන් මැනවින් යොදාගනිමින් ප්‍රේක්ෂකයා තුළ ප්‍රේක්ෂාවක් ඇති කිරීමට හෙන්රි ජයසේනයන් මෙහි ප්‍රයත්න දරා තිබේ. ඉතිහාසගත සියලු අවස්ථා පෙන්නුම් කරනුයේ දඩයක්කරු ඉතිහාසය හෙළි කරන අවස්ථාවේ අතීතාවර්ජන ලෙස ය.
ඉතිහාසගත කුවේණියට සිදු වූ අසාධාරණයට සාධාරණ පිළිතුරක් සොයා නඩු විභාගයකට අධිකරණයට පෙනී සිටින්නේ වර්තමාන කුවේණිය යි. වේදිකාවේ එතෙක් තිබූ පසුබිම නවමු මඟකට යොමු කරමින් නවීන අධිකරණ ශාලාවක් වේදිකාව මත මැවෙයි. මෙහි සාක්කි කූඩුවට නැග සිටින කුවේණිය සුදු සාරියකින් සැරසි සිටියි. වස්ත්‍රාභරණහි වෙනස්කම් හමුවේ ඉතිහසගත කුවේණියත් වත්මන් කුවේණියත් සැසඳීමට ප්‍රේක්ෂක සිත් යොමු කරවයි. නාට්‍යයේ දෙවන අංකය වන මෙහි දිවෙන්නේ වත්මන් කුවේණියගේ කතාවයි. නමුත් මෙම නඩු විභාගය තුළ ම හැඟවෙන්නේ අතීත කුවේණියට සිදුවූ අසාධාරණයයි. වත්මන් කුවේණිය තුළින් නියෝජනය වන්නේ අතීත කුවේණිය බව ප්‍රේක්ෂකයාට පසක් කරවයි.
වසර දෙදහස් පන්සියයකට ඉහත ඝාතනය වූ කුවේණියගේ චරිතයට පණ පොවා ඇයට යුක්තිය සාධාරණය ඉටු කිරීමට වර්තමානයේ දරන ප්‍රයත්නය හෙන්රි ජයසේනයන්ගේ මෙකී නාට්‍යය තුළ විදහා දැක්වෙයි.  
නඩු විභාගය තුළ සිටින වත්මන් කුවේණිය දෙස එක් නීතිඥයකු බලන්නේ යකින්නක ලෙස යි. මෙහි දී කුවේණියට සිදු වූ අසාධාරණය විභාග කෙරුව ද අධිකරණ ශාලාවේ සිටින්නේ පැමිණිලිකාරිය වූ කුවේණිය පමණි. විත්තිකරු වූ විජය කුමරු අධිකරණ ශාලාවේ නොමැත. වර්තමාන අධිකරණය හමුවට එන කුවේණිය ද දරු දෙදෙනා සමඟ තනි වූ කතකි. මැය ද යදින්නේ මිල මුදල් නොව සිය ස්වාමියාගේ අහිමි වූ සෙනෙහසයි. අධිකරණය තුළින් සාධාරණය සෙවීමට ගිය කුවේණියට අවසානයේ හිමි වන්නේ අනුකම්පාව පමණි.
කුමක් කළ හැකි වෙද ළඳුනි මට - වෙනු මිසක කම්පා මේ ඔබ ගැන (පිටුව 44)
නාට්‍යයේ පළමු අංකය හා තුන්වන අංකය එකිනෙක බැඳේ. එනම් දඩයක්කරු හා දරුවන් දෙදෙනාගේ සංවාදය හා බැඳේ. නමුදු දෙවන අංකය තුළ ඇත්තේ මනඃකල්පිත වූ ෆැන්ටසියක් මැවීමකි. මෙම අංකය තුළ පෙර සිටි දඩයක්කරුගේ කැළඹිලි ස්වභාවයක් දක්වයි. දඩයක්කරුගේ ආධ්‍යාත්මික විපර්යාසයට හේතුව දරු දෙදෙනා යි.
“මට හිතෙනවා මුළු ලෝකෙට ම පිස්සු කියල. මුළු ලෝකෙ ම දකින්නේ හීනයක් කියල. මම ඉන්නවද නැද්ද මම දන්නේ නෑ. මේ දරුවො ඉන්නවද නැද්ද මම දන්නේ නෑ. මේ බලන්ඩ ඇඟ කෙනිත්තුවත් මට වේදනාවක් දැනෙන්නේ නෑ. මම දන්නේ නෑ මම ඉන්නවද කියල.” 
දඩයක්කරු තමන් ඇතුළු මුළු ලෝකයට ම පිස්සු යැයි පවසයි. සමාජයේ සිටින මිනිසුන්ගේ සංවේදී බව තුරන් වී ඇති බව දඩයක්කරුගේ දෙබස් හා හැසිරීම තුළින් විද්‍යමාන කිරීමට නාට්‍යකරුවා ගත් උත්සාහය අගනේ ය. “පුංචි කාලේ දවසක් අයිය මගේ ඇඟ කෙනිත්තුව. ඒ වෙලාවේ නම් මට වේදනාවක් දැනුණා. ඒත් දැන් මට වේදනාවක් දැනෙන්නේ නෑ.” දිසාලාගේ මෙවැනි කතාවන් නාට්‍යයට හුදු එක දෙබසක් ම නොවේ. කුඩා කළ මව්පියන්ගේ රැකවරණය මධ්‍යයේ සංවේදී වූ ඔවුහු දෙදහස් පන්සිය වසරක් මව එනතුරු දුක් පීඩා විඳ බලා සිටීමෙන් ම තමන් තුළ සංවේදී බව තුරන් වී ඇති බව ව්‍යංගාර්ථයෙන් හඟවයි.
දඩයක්කරු මහ මඟදී හමුවන ගැහැණියකට කුවේණියගේ දරු දෙදෙනා ඈ එනතුරු කැළයට වී බලා  සිටින බව කියයි. එම කත “ඔව් මම දන්නවා” ලෙස  පවසමින් සිනාසී ගිය බව දඩයක්කරු දරුවන්ට පවසයි. දඩයක්කරු හා මෙම කත අතර ඇති වූ මෙම අවස්ථාව වේදිකාව තුළ නිරුපණය නොකරන අතර දරුවන් දෙදෙනාට පෙර වූ සිද්ධියක් පවසන අයුරින් දක්වා තිබේ. කාන්තාවක් වූ ඇය දරු දෙදෙනා ගැන කිසිඳු උනන්දුවක් නොමැති සෙයක් මෙහි විද්‍යමාන වෙයි. වත්මන් ලෝකයේ මව්වරුන් දරුවන් කෙරෙහි පවා අසංවේදී බව කියාපායි.
දරුවන් වැද්දන් වන්නට කැමති බව පවසන විට දඩයක්කරු පවසන්නේ “මොක්කු වුණත් කමක් නෑ මිනිස්සු නොවී” යනුවෙනි. මෙය සමාජයේ කෲර බව අසංවේදීත්වය හෙළිකරන අවස්ථාවකි.
මේ සංවාදයට අනතුරු ව ජීවහත්ත, දිසාලා නින්දකට වැටෙති- සංගීත හඬ මධ්‍යයේ වේදිකාව අඳුරු වී මදින් මද ආලෝකමත් වන විට දඩයක්කරු වේදිකාව තුළ දක්නට නොමැත. නමුත් කුවේණිය දරුවන් දෙදෙනා දෙස බලා සිටියි. නාට්‍යය අවසානයේ කුවේණිය පැමිණීමට පෙර වත්මන් සමාජය සංකේතවත් කළ දඩයක්කරු වේදිකාවෙන් පිටවේ. පෙර දී කුවේණිය බියජනක යකින්නියක ලෙස හැඳින්වුව ද නාට්‍යය අවසානයේ දී ඇය අහිංසක බව දඩයක්කරුට වැටහේ. එයින් දඩයක්කරුගේ ආකල්පමය පරිවර්තනයක් නාට්‍යය අවසානයේ සිදුවී ඇති බව පෙනී යයි. කුවේණියට සමාජය ඉදිරියේ සාධාරණය ඉටු නොවීමේ පාපයට තමා ද වගකිව යුතු බව දඩයක්කරුට හැගේ. එයින් චිත්ත සන්තාපයට පත් දඩයක්කරුට කුවේණිය හමුවේ පෙනී සිටීමට ආත්ම ශක්තියක් නොමැති හෙයින් දඩයක්කරුවා අඳුරේ ම මාරු වෙයි. නාට්‍යකරුවා එවැනි අවස්ථා නාට්‍යයට එක්කර තිබෙන්නේ ව්‍යංගාර්ථයෙන් සමාජයට පණිවිඩයක් ලබාදීමේ අටියෙනි.
අනතුරු ව මව එනතෙක් බලා සිටින දරුවන් අසළට වත්මන් කුවේණිය පැමිණෙයි. එහි දී ඇතිවන සංවාදය අතීතය හා වර්තමානය එක ම අවස්ථාවක මුණගස්වයි. එය නාට්‍යකරුවාගේ ෆැන්ටසියේ තවත් එක් අවස්ථාවකි. කුවේණිය දෙදහස් පන්සිය වසරක් සැරි සැරූ තම කථාව සැකෙවින් දරුවන්ට කියයි. බොහෝ දේ අමතක ව සිටි ඇයට නැවත දරු දෙදෙනා සොයා යාමට පාර කීවේ දඩයක්කරු බව පවසයි. දඩයක්කරු අතීතයත් වර්තමානයත් යා කරන ප්‍රබල චරිතයක් ලෙස නාට්‍යය තුළ ක්‍රියා කරයි.
නාට්‍යය අවසාන වන්නේ කුවේණිය දරු දෙදෙනා සමඟ කැළයට යාමෙනි- සාධාරණය ලබා ගැනීමට පැමිණි කුවේණිය නැවතත් වනගත වීම ගැටලු සහගත වුවත් විවෘත අවසානයක් නාට්‍යය තුළ දක්වමින් හෙන්රි ජයසේනයන් බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂක චින්තනය හා පරිකල්පනය පුළුල් කිරීමයි. 
අතීතෙන් විත් සැරිසරා ලොව - බවෙන් බවයට සසර සයුරේ
සෙවූ ස්නේහය යුක්ති ධර්මය - නොලද්දී ඈ මෙලෝ තලයේ (පිටුව 54)
නාට්‍යයක මුඛ්‍යත ම ලක්ෂණයක් වූ ගැටුම් අවස්ථාව, මිනිස් සමාජයේ අතීතය හා වර්තමානය අතර ඝට්ටනය මගින් මෙහි දී පෙන්නුම් කරයි. නාට්‍යයකරුවා අතීතයේ නොදියුණු මිලේච්ඡ සමාජ ක්‍රමය තූළ ගැහැණියට සිදු වූ අසාධාරණය වත්මන් දියුණු ශිෂ්ඨසම්පන්න සභ්‍යත්වය තුළ අධිකරණය ඔස්සේ ගැහැණියට සහනය ලබා දීමට ගත් උත්සාහය ව්‍යර්ත වේ. වර්තමාන සමාජය දියුණු හා ශිෂ්ඨ යැයි පිළිගත්ත ද මානුෂික සබඳතා පිරිහීම අතින් එදා අතීතයේ මෙන් ම මිලේච්ඡ සමාජයක් ගොඩනැගී ඇති බව මෙම නාට්‍යය තුළින් ව්‍යංගාර්ථයෙන් පෙන්නුම් කරයි.
සමස්ත නාට්‍යය තුළ ම පිරිහී ගිය මනුෂ්‍ය සංවේදීත්වය අවදි කිරීමට හෙන්රි ජයසේනයන් උත්සාහ දරා තිබේ. “කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙස යි” යනුවෙන් හෙන්රි ජයසේනයන් පවසයි. කුවේණි නාට්‍යය තුළින් හෙන්රි ජයසේනයන් කුවේණිය නමැති ගැහැණියට එදා අතීතයේත් අද වර්තමානයේත් හෙට අනාගතයේත් යුක්තිය හා සාධාරණය ඉටු නොවූ හා නොවන බවත් දක්වයි. පෙර නාට්‍යකරුවන් වේදිකාව තුළ කාන්තාව පිළිබඳ හෙලූ පටු අදහස්වලින් ඔබ්බට ගොස් පුළුල්  දෘෂ්ඨියක් ඔස්සේ කාන්තාවකගේ ජීවිතය නවමු අයුරකින් විදහා දැක්වීමට හෙන්රි ජයසේනයන් “කුවේණි නාට්‍යය” තුළින් ගත් උත්සාහය සාර්ථක වී ඇති බව පෙනීයයි.
                                                                     - සඳමාලි -
ආශ්‍රිත ග්‍රන්ථ;
අබේපාල රෝලන්ඞ්,(2017),කුවේණි නාට්‍ය විමර්ශන ප්‍රථම මුද්‍රණය, සාර ප්‍රකාශන, කොට්ටාව
ජයසේන හෙන්රි,(2018), කුවේණි,නවවන මුද්‍රණය ගොඩගේ ප්‍රකාශන, කොළඹ 10.

3 comments: