Sunday, November 3, 2019

මොහොතක් සිතන්න

මම වෘත්තියෙන් ගුරුවරියක් නොවෙමි.නමුත් වසර කිහිපයක සිට දහම් පාසල් ගුරුවරියක ලෙස මම කටයුතු කරමි.(මෙය ලොකුකමක් පෙන්වීමට කී දෙයක් නොව කතාවට ආරම්භයක් ගත්තා පමණි.)
වසර ගණනාවක අත්දැකීමක් නොමැති වුව ද මේ වසර කිහිපය තුළ දහම් පාසලෙන් මගේ ජීවිතයට ගත් දේ බොහෝය. ඒ අතරින් මේ වසර තුළ මට ඉගැන්වීමට ලැබුණු පන්තිය අන් සියලුම පන්තිවලට වඩා මගේ සිත් ගත්තේ ඇයිදැයි මාවත් නොදන්නා කරුණකි.
ඔවුන්ගේ දග වැඩ වලට කෙතරම් තරහ ගිය ද ඔවුන් ඉදිරියේ යක්ෂනියක් වීමට මා අකමැති වූයේ කුඩා කල සිට මා ද නපුරු ටීචර්ල ට අකමැති වූ හෙයිනි.නමුත් වැරද්දක් දුටුවිට කටපියා නොගෙන පොඩ්ඩක් සැර කලත් "මං ඔයාලට ආදරෙයි" කියන්න ද මා අමතක කරන්නේ නැත.
මා කෙතරම් ළමයින්ට සමීප වූවාදැයි මා දන්නේ නැත. පන්තියේදී යාලුවෙක් මෙන් ඔවුන් අසලට ගොස් කතා කිරීමට ද මම අමතක නොකළෙමි.ඒ කතා බහේදී පුංචි හිත් වල සැගවුණු බොහෝ දේ ඔවුන් මා සමග පැවසූ අවස්ථා බොහෝය.
එක් වරක් කියූ සැනින් සියල්ල අවබෝධ කරගන්නා දරුවන් අතර එකම දේ සිය පාරක් කිව්වත් නොතේරෙන දරුවන් ද විය.නමුත් මේ දෙපිරිස ගැනම අවධානය දීමට අපි හැකි හැම මොහොතකම කටයුතු කළෙමු.( මාත් සමග පන්තියේ ඉගැන්වීම් කටයුතු කරන මගේ සහෝදරිය කවීෂා ද මේ මොහොතේ අමතක නොකරමි)
මා දැන් පැවසීමට බලාපොරොත්තු වන්නේ සත්‍ය සිද්දියකි.
පන්තියේ ලබා දෙන කිසිදු වැඩක් නොකරන කියන කිසිම දෙයක් නොඅසන එක් දරුවෙක් විය.ඔහු කෙතරම් කීවත් කනකටවත් ගත්තේ නැත.නමුත් එක්වර මට ද සිතාගත නොහැකි ලෙස ඔහුගේ හැසිරීම වෙනස් විය.හැමදාම පන්තියේ දෙන වැඩ ඉක්මනින් අවසන් කර පොත මා වෙත රැගෙන එන්නටද ඔහු අමතක කලේ නැත.කවදාවත් නොතිබූ උනන්දුවක් මා ඔහු තුළින් දකින්නට විය.ඔහුගේ ඒ වෙනස්වීම පන්තිය ඉදිරියේ අගය කිරීමට ද මා පසුබට වූයේ නැත.
අද ඔහු පැවසූ දෙයින් මොහොතකට මගේ හිත මොහොතකට නතර විය.මේ ඔහු මා සමග පැවසූ දෙයයි.(ඔහුගේ පොත මා වෙත රැගෙන ආ අවස්ථාවේ)
" පුතේ ඔයාට වැඩ පුලුවන් ළමයෙක්.ඇයි ඔයා කලින් වැඩ නොකර කියන දේ අහන්නෙ නැතුව දැගලුවෙ."

මට මේ වෙනකන් හැමදාම හම්බුණේ නපුරු ටීචල..

එතකොට ඇයි ඔයා දැන් ඔයා දැන් මේ විදිහට වැඩ කරන්න හිතුවෙ.

ටීචර් හොදයිනෙ.ටීචර් හොද නිසා තමයි මං දැන් වැඩ කරන්නෙ.

ඒ වචන ටිකත් එක්ක හිතට කියාගත නොහැකි සතුටත් එක්ක නිහතමානී ආඩම්බරයක් දැනුණි.(මා මෙය පැවසූවේ මං මෙහෙම අයෙක් කියා පැවසීමට නොවේ.ආදරයට කළ නොහැක්කක් නැති බව පෙන්වීමටයි.)
මංවත් නොහදුනන මගේ හැකියාවන් දැනගෙන ඉදිරියට යන්න මටත් කියල දුන්නෙ දහම් පාසලෙන්.ඒ නිසා මගේ දහම් පාසල ගැන ආඩම්බරයෙන් ඉදිරියට ලියමි.

මා අද මේ සිටින තැනට ඔසවා තැබීමට පසලේ ගුරුවරු මෙන් ම දහම් පාසල් ගුරුවරු ද හේතු වූ බව නොරහසකි. කුඩා කල සිටම අද දක්වාම දහම් පාසලේ හැම දේකටම හිත ඇදී යන්නේ මා දහම් පාසලට ඇති ඒ බැදීම නිසාමය.
*මෙතැන් සිට මා අමතන්නේ දහම් පාසල් යාම පාසලේ වැඩ වලට බධාවක් ලෙස දකින පටු අදහස් ඇත්තන්ටය.
අන් අය ගැන මා දන්නේ නැත.නමුත් මා ගැන හොදින් දනිමි.ශිෂ්‍යාවක් ලෙස දහම් පාසලෙන් මා ලබා ගත් දේ බොහෝය.

මා පාසල් වේදිකාවේ බොහෝ අවස්ථාවල නර්තනයේ යෙදුනද කිසිම දිනක පිරිසක් ඉදිරියේ කතාවකට නම් පාසල් වේදිකාවට නැග තිබුණේ නැත. මා පිරිසක් ඉදිරියේ පළමු වරට කතාවක් සදහා වේදිකාවට නගින්නේ දහම්පාසල් වේදිකාව මතටයි.(බොහෝ දෙනාගේ බල කිරීම මත ගුරු දිනයක පිලිගැනීමේ කතාව කිරීමට මට සිදුවිය.එදින කතාව හොදද නරක ද යැයි මම නොදනිමි.නමුත් දහම් පාසලෙන් ඒ ලැබුණු අවස්ථාව මත අද වන විට මට පිරිසක් ඉදිරියේ කතා කිරීමට ශක්තියක් පවතින බව මම විශ්වාස කරමි.එදින මා බලෙන් හෝ කතාවට යොමු කළ සියල්ලන්ට මම ස්තුති වන්ත වෙමි.)

"දහම් පාසල් වැඩ වලට ගියොත් වැඩ පාඩු වෙනවා." මෙවැනි පටු අදහස් ඇත්තවුන් සිටීම ගැන ඇත්තේ පිලිකුලකි.එසේ පාසල් වැඩ පාඩු වූවා නම් අද මා මේ තැන නොසිටින බව මම නොබියව පවසමි.පාසලේ කෙතරම් විභාග තිබුණ ද මා දහම් පාසල් වැඩ නම් මග ඇරියේම නැත.පුලුවන් හැම අවස්ථාවකම දහම් පාසලේ අධ්‍යාපනික වගේම බාහිර වැඩ වලටද සම්බන්ධ වීමි.ඒ හැම අවස්ථාවකම "උඹ ගිහින් පන්සලේ මහණ වෙයන්. හැම වෙලේම පන්සලේ.විභාගෙ ළගයි නේද?"
කියමින් විහිලු කල යාලුවෝද එමටය.

කියන්නට සතුටුය.මා සිතුවාටත් වඩා ප්‍රතිඵල මා මුහුණ දුන් විභාග වලින් මට අත් වුණි.පාසල මෙන්ම දහම් පාසල ද ඒ සියලු ජයග්‍රහණයන්ට හේතු වූ බව මම නොපැකිලිව පවසමි.
ආදරණීයව සිහිපත් කල යුතු දෙයකි.මගේ දෙමාපියන් ද පටු අදහස් වල සිටියා නම් අද මා මේ සිටින තැන නොසිටිය හැක.අදටත් පසලේ මෙන් ම දහම් පාසලේ ඕනෑම වැඩකට යාමට අවසර ලබා දෙන මාගේ ආදරණීය දෙමාපියන් ආදරයෙන් සිහිපත් කරමි.

තවත් පැවසිය යුතුම දෙයකි.ඒ මාගේ දහම් පාසල් ගුරුවරුන්‍ ය.ඔවුන් මෙය කියවාවිදැයි මම නොදනිමි.නමුත් මෙය සටහන් කිරීම මාගේ යුතුකමකි. කුඩා කළ සිට මේ වන තෙක් මට දහම්පාසල තුළ හමුවූ ගුරුවරුන් බොහෝය.ඔවුන්ගෙන් ඉගෙන ගත් දරුවෙක් ලෙස, අද ඔවුන් සමගම තවත් දරු පිරිසක් යහ මග යැවීමට ලැබීම මා ලද භාග්‍යයකි.එමෙන් ම සැමදා ම ඔබ මගේ ගුරුවරු බව මට කිසිදා අමතක නොවන බව ද කිව යුතුය. අදටත් දහම්පාසල් අවසානයේ නිවස් බලා යන විට "යන්නම් සර්... යන්නම් ටීචර්...." කියා ඔබේ දෙපා වැදීමට අමතක නොකරන්නේ ඒ ගුරු ගෞරවය නිසාමය.(අපි එච්චර වයස නෑ වදින්න ඕන නෑ.😂😂එහෙම කිව්වත් මා එක දවසක් හෝ ඔබෙන් දෙයක් ඉගෙන ගත්ත නම් මට වයස අදාළම නැත.ඔබ මාගේ ගුරුවරයෙකි.)

අවසානයේ මා කියන්නෙ මෙපමණකි.අද මා තැනක සිටිනවා නම් ඒ සියල්ලටම මාගේ දහම් පාසලේ ගුරුවරුන්ට ද ඒ ගෞරවය හිමිවිය යුතුමය.

ආදරණීය දෙමාපියනි,
පාසලට වගේම වටිනාකමක් වැදගත්කමක් දහම් පාසලටත් දෙන්න.ඔබේ දරුවත් හැමදාම ඔබට ආදරය කරන රටට ආදරය කරන හොද දරුවෙක් වෙයි.එතකොට පුලුවන් වෙයි අපිට පස්සෙ පරම්පරාවටවත් ලස්සන රටක් හදල දෙන්න.

මට ලස්සනට ලියන්න නම් බෑ.මගෙ හිතට ආව දේ මං මේ විදිහට කිව්වෙ.කතාවට එකගයි නම් සතුටුයි.මීට විරුද්ධ මත දරනව නම් ඒවත් අහන් ඉන්න සූදානම්...

Thursday, September 12, 2019

මගේ සෙනෙහස මදි වුණාදෝ




නුඹේ හිත තුළ ලැගුම් ගත් මගෙ මතක ටික ටික බොඳ        වුණාදෝ 
මා නමට වූ නුඹේ ප්‍රේමය වෙන අයෙකු වෙත ළං                වුණාදෝ 
ප්‍රේමයෙන් පිරි අපේ හදවත් කෙසේ මේ ලෙස වෙන්           වුණාදෝ 
ඇගේ රූපය ඉදිරියේ මේ මගේ සෙනෙහස මදි                    වුණාදෝ  


                                                                                                                             - සඳා -