Monday, July 1, 2019

බෙරයේ ඉතිහාසය





ලාංකේය සාම්ප්‍රදායික කලාවන් අතුරින් නර්තනය හා බෙර වාදනයට සුවිශේෂිත්වයක් හිමිවේ. නර්තන කලාවේ ආරම්භයටත් පෙර සිටම බෙර සෑදීම හා වැයීම සිදු කර තිබේ. ලාංකේය බෙර වාදන සම්ප්‍රදාය සිංහල සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන ප්‍රබල කලා මාධ්‍යයකි. බෙරය යන වචනය පිළිබඳ නිර්වචන කෙරෙහි අවධානය යොමු කිරීමේදී නිර්වචන කිහිපයක් හමුවේ.


සුමංගල ශබ්ද කෝෂයේ “බෙර” යන වචනය අර්ථ නිරූපණය කර ඇත්තේ “භේරී” ලෙසයි. “භේරී” යනු පුරාණ සංස්කෘත වදනකි. වර්තමානයේ ද ලාංකේය ග්‍රන්ථයන්හි බෙර වාදනය භේරී වාදනය ලෙසින් දක්වා තිබීම දැකගත හැකිය.
බෙරය” යන වචනය ඉංග්‍රීසි බසින් Drum ලෙස හඳුන්වයි. ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ “Drum” යන වචනය නිර්වචනය කර ඇත්තේ මෙසේය.

"A percussion instrument with a skin stretched across a frame, sounded by being struck."
ඉහත නිර්වචනයට අනුව බෙරය, පහරදීමෙන් ශබ්දය විහිදුවන ආකෘතියක් හරහා හමක් ඇදීමෙන් සාදාගන්නා ලද සමාඝාත තූර්යභාණ්ඩයකි. ඔක්ස්ෆර්ඞ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ ම මේ සඳහා තවත් නිර්වචනයක් ඉදිරිපත් කර තිබේ.
"A cylindrical containeror part. " බෙරය යනු සිලින්ඩාකාර බඳුනක් හෝ කොටසක් බව මෙම නිර්වචනයට අනුව පැහැදිලි වේ.

අම්මත් ගැහැණියක් බව මතකේ නැද්ද


Saturday, May 25, 2019

සංස්කෘත නාට්‍ය




සංස්කෘත නාට්‍ය 
       
ලෝකයේ නාට්‍ය කලාව දෙස බලන කල්හි එය දෙයාකර වේ.

  • ගැමි නාට්‍ය කලාව 
  • සම්භාව්‍ය නාට්‍ය කලාව 
ගැමි නාට්‍ය කලාව තුළ නොයෙක් වෙනස්කම් තිබුණ ද සම්භාව්‍ය හා ගැමි නාට්‍ය අතර පවත්නා සම්බන්ධතාවය ඉතා සංකීර්ණය . මෙම ද්විත්වයෙහි ම සමාන අසමානකම් පවතින අතර ගැමි නාට්‍ය තුළින් සම්භාව්‍ය නාට්‍ය අභාෂය ලබා පෝෂණය වී ඇත.

භාරතයේ නාට්‍ය ප්‍රභවය පරික්ෂා කිරීමේදී හෙලිවන්නේ ආගමික පුද පූජා ඇසුරින් සහ ජනනාට්‍ය ඇසුරින් විකාශය වූ බවයි.භාරත මුනිවරයා විසින් ලියු නාට්‍ය ශාස්ත්‍රය වැනි ග්‍රන්ථ රචනා වූවාට පසු  අක්‍රීය නම් දෙවිවරු රැසක් පැමිණ මෙතෙක් දෙවිවරුන්ට පමණක් සීමාවූ නාට්‍ය කලාව මනු ලොවට ගෙන අවේ මන්දැයි ඇසුහ. එවිට භාරත මුනි විසින් පවසා ඇත්තේ අතීතයේ වස් නමැති මනු රජුගේ යුගයේ ලෝක ජනයා තුළ කාමයඊර්ෂ්‍යා ,ක්‍රෝධ ආදී ගුණ ඇතිවී මිනිස් සාමය විනාශ වූ අවස්ථාවේ මහේන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරු මෙයට පිලියමක් ලෙස සියලු කුලවලට ඔබින ශ්‍රව්‍ය, දෘශ්‍ය වූ විනෝද මාර්ගයක් වන පස් වන වේදයක් මවන්නැයි කියා ඇත. එවිට මහා බ්‍රහ්මයා ධ්‍යාන වලට සමවැදී සියලු ශාස්ත්‍ර ඇතුළත් වූ නාට්‍ය ශාස්ත්‍රය නමැති පස් වන වේදය සකස් කිරීමට,

       ඍග් වේදයෙන්                 - පාඨය 
       යජුර් වේදයෙන්                - අභිනය 
       සම වේදයෙන්                  - ගීතය 
       අථර්වන් වේදයෙන්          - රසය 

                                                          ගෙන නාට්‍ය කලාව වේදයක් බවට පත්කර ඇත. මෙය වේදයක් බවට පත් කිරීමෙන් නාට්‍ය කලාවට තිබූ  වැදගත්කම භක්තිය පෙනී යයි. එසේම නාට්‍යයට අවශ්‍ය සමරෝපය, අනුකරණය හා සංවාද බ්‍රාහ්මණ ග්‍රන්ථ ඇසුරෙන් සොයාගත් බව පඬිවරුන් විසින් සොයාගෙන ඇත. මව් කාලය තුළදී සතර අභිනය ගැන දීර්ඝ පොත් ද ලියවී ඇත. තව ද මහාභාරතය,රඝු වංශය,රාමායනය,පාර්වංශය වැනි ග්‍රන්ථ වලින් ද දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රය වැනි තැන්වලත් නාට්‍ය රඟ දැක්වීම පිළිබඳ සටහන් ව ඇත.

Monday, April 15, 2019

හෙන්රි ජයසේනයන්ගේ "කුවේණි නාට්‍යය" රසවින්දනය




නාට්‍යය වනාහි කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් හෝ නළු නිළියන් මාර්ගයෙන් සතර අභිනයන් භාවිතයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපුර්වත්වයෙන් යුතු ව නිරූපණය කරන්නා වූ කලාවකි. ‘බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්’ දක්වන ආකාරයට නාට්‍යය යනු, ප්‍රේක්ෂකයාට විනෝදය සැපයීම පමණක් නොව ප්‍රේක්ෂකයා බුද්ධියට ගොදුරු කර ගැනීමක් ද වේ. 


සංවාද, දෙබස්, ආත්මභාෂණ, ගීත ආදියෙන් නාට්‍යයේ අන්තර්ගතය ප්‍රේක්ෂකයා වෙතට ගෙන යයි. ශරීරයේ  ශිථිලකරණය, රිද්මය, නම්‍යශීලිත්වය, ශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් නාට්‍යක් තුළ අංග, ප්‍රත්‍යංග, උපාංග භාවිත කරමින් අර්ථයන්, හැඟීම් පළ කරයි. ස්ථම්භ, රෝමාංච, වේපථු, ස්වරභංග, අශ්‍රැ, ස්වේද, වෛවර්ණස්‍ය, ප්‍රලය ආදී භාවයන් චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව නාට්‍යයක දී ඉදිරිපත් වන බව භරතමුනිවරයා ගෙන හැර දක්වයි. තව ද නළු නිළියන්ගේ රංගනය තහවුරු කිරීමට, ඉස්මතු කිරීමට උපකාරී වන බාහිර සාධකයන් එනම් රංග භුමිය, වේෂ භූෂණය, නාට්‍ය උපකරණ, අංග රචනය, රංගාලෝකය, සංගීතය යනා දී ආහාර්ය අභිනය යොදා ගනී. ප්‍රත්‍යක්ෂ ලෝකයේ සතුට හෝ ශෝකයට මදක් වෙනස් වූ අපූරු වින්දනයක් ජනිත කරවීමට නාට්‍ය සමත් වේ. නාට්‍ය පිළිබඳ විචාරක්ෂියේ දී විද්‍යාමාන වන්නක් වන්නේ සෑම නාට්‍යකට ම ප්‍රකාශන විලාසයක් පවතින බව ය. 
ලාංකේය නූතන වේදිකා නාට්‍ය කලාවේ නොමැකෙන සටහනක් තැබූ සිය වස්තු විෂය වේදිකාවේ අපුර්වත්වයෙන් හැසිර වූ නාට්‍යවේදියෙක් ලෙස හෙන්රි ජයසේනයන් හැඳින්විය හැක. නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, යනා දී විවිධ මානයන්ගෙන් හෙන්රි ජයසේනයන් හඳුනාගත හැක. නූතන සිංහල නාට්‍ය රසිකයන් සොයා ගිය ගමන් මගෙහි අතිවිශිෂ්ඨ නිර්මාණකරුවෙකු ලෙස හෙන්රි ජයසේනයන් හඳුන්වාදිය හැක.ලෝකධර්මී හා නාට්‍යධර්මී ලක්ෂණ සංකලනය කරමින් නවමු මගක් ඔස්සේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට මොහු සමත් විය. මනමාලයෝ, වැදගත්කම, ඇත්ත කුමක් ද, හුණුවටයේ කතාව ආදී පරිවර්තනයන් ද පව්කාරයෝ, ජනේලය, කුවේණි යනා දී ස්වතන්ත්‍ර නිර්මාණයන් ද ඔහුගේ නිර්මාණ අතර වේ.
මා විසින් විමසුමට ලක් කරනු ලබන්නේ හෙන්රි ජයසේනයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වූ කුවේණි වේදිකා නාට්‍යය යි. ආචාර්ය සරත්චන්ද්‍රයන් දියත් කළ නාට්‍ය සම්ප්‍රදායට නතු නොවූ මොහු නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා නව මංපෙත් සොයා ගියේ ය. එකී උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස කුවේණි නාට්‍ය හඳුන්වා දිය හැකි ය.
යකින්නියක ලෙස සමාජයේ හංවඩු ගැසූ කුවේණියගේ කතා පුවත වර්තමානයට ගළපමින් මෙකී නාට්‍යය තුළ මනා සේ විදහා දක්වයි. තමා සමඟ පෙමින් බැඳුණු විජය කුමරුගේ යහපත පිණිස සිය ඥාතීන් මරා දැමූ කුවේණිය වසර ගණනක් ඔහු සමඟ දිවි ගෙවා ජීවහත්ත, දිසාලා යන දරුවන් දෙදෙනාගේ මෑණියන් බවට පත්වෙයි. වංශවත් කුමාරිකාවක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සරණ මංගල්‍යයක් සිදුකිරීමේ අටියෙන් විජය කුමරු කුවේණිය හා දරු දෙදෙනා මාලිගාවෙන් පිටමන් කරනු ලබයි. පිටමන් කරනු ලැබූ කුවේණිය ඇගේ දරුවන් දෙදෙනා සමඟ වනගත වන අතර දාරක ස්නේහයෙන් ඔද වැඩී ගිය කුවේණිය තම නෑසියන්ගෙන් සමාව අයැදීමට තීරණය කරයි. තමා පැමිණෙන තුරු මඟ බලා  සිටින ලෙස දරුවන්ට පවසා ඈ පිට වුව ද ඇයට ඇය බලාපොරොත්තු නොවූ අයුරින් නෑ පිරිවරගෙන් ගල් මුල් පහර කා ඝාතනය වීමට සිදුවිය. අවුරුදු දෙදහස් පන්සියයකට පෙර එදා කුවේණිය තම දරුවන් රඳවා ගිය තැන තවමත් ඔවුන් බලා සිටියි. අතීතයේ කුව්ණියගේ කතාව අතීතාවර්ජන ලෙස දක්වමින් කුවේණිගේ කතාව වර්තමානය හා සැසඳීමත් කුවේණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් හඬක් නැඟීමටත් හෙන්රි ජයසේනයන් කුවේණි නාට්‍යය යොදාගෙන තිබේ. ෆැන්ටසි නාට්‍ය සංකල්පය අනුගමනය කරමින් අතීතය හා වර්තමානය වේදිකාවේ එකට නිරුපණය කිරීමට හෙන්රි ජයසේනයන් මෙහිදී උත්සාහ දරා තිබේ.
වසර දෙදහස් පන්සිය ගණනක් තම මව පැමිණෙන තෙක් බලා සිටි ජීවහත්ත, දිසාලා යන දරුවන් දෙදෙනාට වර්තමාන සමාජයේ දඩයක්කරු හමුවේ. එයින් ඇරඹෙන කුවේණි නාටකය මොවුන් තිදෙනාගේ සංවාදයන් ඔස්සේ ඉදිරියට දිග හැරේ.
අන්ධකාරේ දුරාතීතේ       - අන්ධකාරෙට අනාගතේ
රැගෙන යාමට කතා පුවතක්    - අන්ධකාරේ සිට කියන්නේ             
බොහෝ දේ සිදු වූ අතීතේ     - වැළලිලා ඇත අන්ධකාරේ 
පොළෝ පස් යට උනුන් කඳුලැලි   - ලෙයත් ඩහදිය එකට මුසුවී    (පිටුව 13)
නාට්‍යය ආරම්භයේ ම අන්ධකාරය යන යෙදුම යොදා ගනිමින් වේදිකාවේ අන්ධකාරයේ සිට මෙය  ගායනය කරයි. අන්ධකාරයෙන් වැසීගිය කතා පුවතක් ඉදිරිපත් කිරීමට සැරසෙන බවත් ලේ කඳුළු දහදිය සමඟ අතීතයේ පොළෝ තලයේ වැළලී ගිය කතාවක් යළි පැළවෙන්නා සේ නැගී එන බවත් මෙහි දී පවසයි. වේදිකාව ක්‍රමයෙන් ආලෝකමත් වෙමින් දෙදහස් පන්සිය වසරක් අන්ධකාරයෙන් ගිලී පැවති කුවේණියගේ පුවත, අන්ධකාරය මැදින් එබී බලන්නට මෙහි දී වෑයම් කර තිබේ.
ගල්කුලක් මත මෑණියන් බලාපරොත්තුවෙන් සිටින ජීවහත්ත, දිසාලා අතීතය නියෝජනය කරනු ලබන්නා සේ ම තුවක්කුවක් අතින් ගත් දඩයක්කරුවා වත්මන් සමාජය නියෝජනය කරනු ලබයි. අතීතයේ අන්ධකාර සංකේතයෙන් ඇරඹි නාට්‍යය වර්තමාන දඩයක්කරු වෙතට පිවිස ඇත.
එතැන් පටන් ජීවහත්ත, දිසාලා යන දරු දෙදෙනා හා දඩයක්කරු අතර ඇතිවන දීර්ඝ සංවාදය පුරා ම අතීතයත් වර්තමානයත් අතර අදහස් හුවමාරු වේ. අතීතයත් වර්තමානයත් එක ම වේදිකාවේ එක ම අවස්ථාවේ එකට මුණගැසී සංවාදයකට යොමු කිරීම නාට්‍යකරුගේ නිර්මාණාත්මක චින්තනය හුවා දක්වන එක සාධකයකි.
හෙන්රි ජයසේනයන් මෙම නාට්‍යය නිර්මාණාත්මක කරගනු වස් ලෝකධර්මී හා නාට්‍යධර්මී ලක්ෂණ එකම වේදිකාවක මාරුවෙන් මාරුවට භාවිත කරනු ලබයි. පූරක සහ ගායකයෝ ගයනු ලබන ගීත නාට්‍යධර්මී ලෙසත් ජීවහත්ත, දිසාලා දඩයක්කරු අතර සිදුවන සංවාද ලෝකධර්මී ලෙසත් ඉදිරිපත් කර තිබේ.
මෙහි කතා වස්තුව ප්‍රේක්ෂකයාට කියා පාන්නේ දඩයක්කාරයා හා දරු දෙදෙනා අතර ඇතිවන සංවාදය මුල් කොටගනිමිනි. වර්තමානයේ දඩයක්කරු කුවේණිය එන තෙක් මඟ බලා සිටින දරුවන්ට ඉතිහාසය කියා දෙන්නේ සුරඟන කතාවක් කියන්නා සේ ය. මේ අතර වරින් වර ගායකයෝ මැදිහත් වන අතර එම ගීත අතීතය නියෝජනය කරයි. මෙහි දී නාට්‍යකරුවා වේදිකාවේ නිරුපණය කළ හැකි අවස්ථා වර්තමානයේ ඉදිරිපත් කිරීමට යොදා ගැනීමටත් වේදිකාවේ සැබවින් නිරුපණය කළ නොහැකි අවස්ථා සඳහා ගායකයින් යොදා ගැනීමටත් සුක්ෂම වී ඇත.